Ultimate magazine theme for WordPress.

විවියන් රිචර්ඩ්ස්ට LPL පිටියෙන් තනතුරක්

2022 ලංකා ප්‍රිිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස බටහිර ඉන්දිය කොදෙව් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සම්බන්ධ වී තිබෙනවා.

“මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය අපි දැක්කා. නිසැකවම LPL තරගාවලිය මෙම සාර්ථකත්වයේ කොටසක්.” යනුවෙන් විවියන් රිචර්ඩ්ස් සදහන් කළා.

“මම මේ තරඟාවලියේ පසුගිය තරග වාර දෙක බැලුවා, ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය උසස්. ඉදිරි තරගාවලියේ දී ත් ක්‍රීඩකයින් එය පවත්වාගෙන යනු ඇතැයි මට විශ්වාසයි”

මෙවර තරගාවලිය දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය මෙවර ක්‍රීඩාංගන 3 කදී පැවැත්වීම ද විශේෂත්වයක්. ඒ අනුව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය පසුගියවර ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා අනුශූරතාවය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය කල් දැමීමට කටයුතු කළා.

Show Comments (1)