Ultimate magazine theme for WordPress.

වෑග්නර්ගේ සමු ගැනීමේ තරගයක සිහිනය බොද වෙයි – බෙන් සියර්ස් සංචිතයට ආදේශ කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke හට දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක Ben Sears නවසීලන්ත ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු බොහෝ දුරට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉඩ පවතිනවා.

ආබාධය හේතුවෙන් Will O’Rourke හට සති දෙකත් – හතරත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවයි පුහුණුකරු ගැරී ස්ටීඩ් අද(4) සදහන් කළේ.

O’Rourke වෙනුවට Ben Sears සංචිතයට ආදේශ කිරීමට ගත් තීරණයත් සමග පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් නෙයිල් වෑග්නර්ට යළි ජාත්‍යන්තර පිටියට පිවිසෙමින් සමු ගැනීමේ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට තිබූ අවසන් අවස්ථාව ද අහිමි වී ගොස් තිබෙනවා.

මෙම ටෙස්ට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඔහුව නම් කර තිබූ නමුත්, අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ඔහුව නම් නොකරන බවට නෙයිල් වෑග්නර්ට දැනුම් දීමෙන් පසුවයි ඔහු පසුගිය 27 වැනිදා විශ්‍රාම ගැනීම නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඊයේ නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක Will O’Rourke ආබාධයකට ලක් වීමත් සමග නෙයිල් වෑග්නර් ටෙස්ට් කණ්ඩායම සදහා යළි කැදවීම සම්බන්ධයෙන් යම් කතාබහක් නිර්මාණය වී තිබුණා. නවසීලන්ත නායක ටිම් සවුති ද එම අදහස මාධ්‍ය හමුවේ ප්‍රතික්ෂේප කර සිටියේ නැහැ.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය සදහා වෑග්නර් ක්‍රීඩා නොකළ ද, ඔහු එම තරගයේ දී අතිරේක පන්දු රකින්නෙකු ලෙස කටයුතු කරනු දක්නට ලැබුණා.

ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කළ අවස්ථාවේ දී නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ නෙයිල් වෑග්නර් පළමු ටෙස්ට් තරගයෙන් පසුව සංචිතයෙන් නිදහස් කරන බවයි.

Leave a comment