Ultimate magazine theme for WordPress.

වාර්තා අලුත් කරමින් මුම්බායි අවසන් තරගයට – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ඔවුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 57ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙය මුම්බායි කණ්ඩායම අයි.පී.එල් අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව වීම විශේෂත්වයක්.

මෙතෙක් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අවස්ථා පහෙන් අවස්ථා 4කදීම ශූරතාවය තමන් සතු කර ගැනීමට ද ඔවුන් සමත් වුණා.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව මුම්බායි පිල නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් ලබා ගනිමින්.

ඉෂාන් කිෂන් නොදැවී ලකුණු 55ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 51ක් රැස් කළා.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 14කින් වේගවත් ලකුණු 37ක් රැස් කළේ හයේ පහර 5ක් සිය ඉනිමට එක් කරමින්.

නායක රෝහිට් ෂර්මා සහ කිරන් පොලාඩ් ලකුණු නොලබා දැවී යාම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී  රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සහ ජස්ප්‍රිට් බුම්රා ඉඩ ලබා දුන්නේ නැහැ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු නොලබා තිබියදී දැවී ගියා.

එලෙස දැවී ගියේ ප්‍රිත්වි ෂෝ, අජින්කෙයා රහානේ සහ ශිකර් දවාන්.

එවැනි සිදුවිමක් වූයේ අයි.පී.එල් ඉතිහාසයේ පළමු වතාවට වීම ද විශේෂත්වයක්.

දිල්ලි ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය මර්කස් ස්ටොයින්ස් ලකුණු 65ක් සහ ආක්සාර් පටෙල් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවිමේ දී සිය හොදම අයි.පී.එල් පන්දු යැවීම සටහන් කළ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 4ක්.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවන අතර, ඒ අනුව හෙට(6) පැවැත්වෙන තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමගින් දිල්ලි කණ්ඩායම ලබන 8 වනදා අවසන් වටයේ තෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

අවසන් වටයේ තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි කණ්ඩායම සමගින් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබනවා.

පසුගියවර ශූරතාවය ද දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයක් සදහා අඛණ්ඩව වසර දෙකකදී සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙයයි.

Leave a comment