Ultimate magazine theme for WordPress.

ධනංජය ද සිල්වා ආබාධයකට ලක් වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(26) පාදයක ආබාධයකට ගොදුරු වුණා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හී දී අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පිතිකරණයේ නියැලෙමින් සිටි අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස ධනංජය ද සිල්වා මෙම ආබාධයට ලක් වුණේ ලකුණක් කරා දිව යමින් සිටියදීයි.

ඒ හේතුවෙන් ඔහුට ලකුණු 79ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීමට ද සිදු වූ අතර, වාර්තා වන ආකාරයට ඔහුට මෙම තරගයේ දී යළි පිතිකරණයේ නිරත වීම සදහා ඇත්තේ ඉතා අවම අවස්ථාවක්.

ඔහු සමගින් අනෙක් අන්තයෙන් එක් වූ දිනේෂ් චන්දිමාල් සාර්ථක සබදතාවක් ගොඩනැගීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් වී යන විට ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී තිබූ සබදතාව ලකුණු 131 ක්.

එම සබදතාව වාර්තා අතරට එක් වුණේ සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූ ඉහළම සබදතාවය ලෙසයි.

මීට පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එම වාර්තාවට උරුමකම් කියූ අතර ඔවුන් 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක සබදතාවක් ගොඩ නගා තිබුණා.

තවද ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාවට එරෙහිව සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාවය වන්නේ ද ධනංජය සහ චන්දිමාල් අද ගොඩු නැගූ මෙම සබදතාවයයි.

Leave a comment