Ultimate magazine theme for WordPress.

වනිදුගේ RCB පිල අරාබියේ දී අඛණ්ඩව 7 වන පරාජයත් ලබයි

Match Report

මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් උරුම කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අද(24) සිදු වුණා.

සාජාහී දී පැවැති මෙම තරගයේ ආරම්භය වැලි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ප්‍රමාද වූ අතර, ඒ අනුව කාසියේ වාසිය උරගා බැලීම ද සිදු කෙරුණේ ඒ සදහා නියමිතව වූ වේලාව පසු වී පැය භාගයකට පසුවයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිත වූ තරගය රාත්‍රී 7.45ට ආරම්භ කෙරුණා. තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

  • RCB 156/6 (20)

බැංගලෝර් ඉනිම ආරම්භ කළේ නායක විරාට් කෝලි සමගින් දෙව්දත් පඩික්කල්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 13.2ක් තුළ ලකුණු 111ක් එක් කළා. කෝලි ලකුණු 53යි. පන්දු 41කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඒ.බී. ඩි විලියස් ලකුණු 12කට දැවී ගියේ ඉනිමේ 16 වන පන්දුවාරයේ 5 වන පන්දුවේ දී යි. ඒ වන විට බැංගලෝර් කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්. ශර්දුල් තාකූර් යොමු කළ පන්දුවක් හමුවේ ඩි විලියස් දැවී ගිය අතර, ඊළග පන්දුවෙන්ම දෙව්දත් පඩික්කල් ද දවා ගැනීමට තාකූර් සමත් වුණා.

පඩික්කල් පන්දු 50කින් ලකුණු 70ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. ග්ලේන් මැක්ස්වෙල් රැස් කළේ ලකුණු 11ක් පමණයි. මෙම තරගය සදහා කැදවූ ටිම් ඩේවිඩ් එක් ලකුණකට දැවී ගියා. හර්ෂාල් පටෙල් ලකුණු 3කට දැවී ගිය අතර, වනිදු හසරංග නොදැවී ලකුණු 1යි.

ඒ අනුව ඉනිමට සාර්ථක හා වේගවත් ආරම්භයක් ලබා ගනිමින් ලකුණු 200 සීමාවට ළගා වීමට පවා එක් අවස්ථාවක මාන බලමින් සිටි බැංගලෝර් පිලට මැද පෙල පිතිකරුවන්ගේ අසාර්ථකභාවය හේතුවෙන් ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් පමණයි.

පන්දු යැවීමේ දී ඩ්වේයන් බ්‍රාවෝ කඩුලු 3ක් ද, ශර්දුල් තාකූර් කඩුලු 2ක් ද, දීපක් චහාර් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

  • CSK 157/4 (18.1)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කළා.

ඉනිම ආරම්භ කළ රුටුරාජ් ගයික්වඩ් හා ෆෆ් ඩු ප්ලෙසිස් පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර 8.2ක් තුළදීයි.

ගයික්වඩ් ලකුණු 38(26)කට ද, ඩු ප්ලෙසිස් ලකුණු 31කට ද දැවී ගියා. මොයීන් අලී ලකුණු 23ක් ලබා ගත්තා. අම්බටි රයිදු පන්දු 22කින් ලකුණු 32යි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සුරේෂ් රයිනා ලකුණු 17ක් හා මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 11ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් කඩුලු 2ක් දවා ගත් අතර, යුස්වේන්ද්‍ර චහෙල් හා ග්ලේන් මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

වනිදු හසරංග මෙම තරගයේ දී යම් ප්‍රහාරයකට ලක් වුණා. ඔහු සිය පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 40ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. මෙය ඔහුගේ දෙවැනි අයි.පී.එල් තරගය වන අතර, ඔහුට මෙතෙක් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වී නැහැ.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී බැංගලෝර් කණ්ඩායම අඛණ්ඩව ලැබූ 7 වන පරාජය වීම ද කැපී පෙනනවා.

Leave a comment