Ultimate magazine theme for WordPress.

වනිදුගේ පිතිකරණ පාඩම අපතේ යවමින් ශ්‍රී ලංකාවට ලකුණු 33 පරාජයක් – Match Report

වනිදු හසරංගගේ සුපිරි ප්‍රහාරාත්මක සටන්කාමී ඉනිම අපතේ යවමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(23) සමත් වුණා.

මෙහිදි හසාන්ගේ සුපිරි පන්දු යැවීම හා බංග්ලාදේශ මැදපෙල පිතිකරුවන්ගේ සටන්කාමී පිතිහරඹය මෙන්ම ශ්‍රී ලංකා  පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹ රටාව මෙම තරගයේ ජය බංග්ලාදේශයට හිමි වීමට හේතු වුණා.

මීර්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 258ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 48.1ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.

මුල්පෙල හෝ මැදපෙල කිසිදු පිතිකරුවෙකුගෙන් ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සදහා සැලකිය යුතු දායකත්වයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ නැහැ.

නායක කුසල් ජනිත් ලකුණු 30කටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 21කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 24කටත් දැවී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 8කටත්, ධනංජය ද සිල්වා ලකුණු 9කටත්, අශේන් බණ්ඩාර ලකුණු 3කටත් දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 14ක් පමණයි.

සියලු පිතිකරුවන්ගෙන් ජයග්‍රාහී ඉලක්කයට කිසිදු සැලකිය යුතු දායකත්වයක් නොලැබෙද්දී හුදෙකලා සටනක් දියත් කළ වනිදු හසරංග පන්දු 60කින් ලකුණු 74ක් ලබා ගත් නමුත් තරගයේ ජයග්‍රහනයට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිදු අද වාර්තා කළේ සිය දෙවැනි අර්ධ ශතකයයි.

ඔහු සිය අර්ධ ශතකය පන්දු 31කින් වාර්තා කළේ බියකින් තොරව පිතිහරඹයේ නිරතවන්නේ කෙසේ දැයි සියලු පිතිකරුවන්ට මනා පාඩමක් උගන්වමින්.

වනිදුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

ඔහු දසුන් ශානක සමග 7 වන කඩුල්ලට ලකුණු 47ක සබදතාවයක් ද, ඉසුරු උදාන සමග 8 වන කඩුල්ලට ලකුණු 62ක සබදතාවයක් ද ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය හිමි කර දීම සදහා දැඩි උත්සාහයක නිරත වූ නමුත්, ඔහුගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිද වැටුණා.

ඉසුරු උදාන ලකුණු 21යි.

පන්දු යැවීමේ දී අනර්ඝ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මෙහිදි හසාන් මිරාස් සිය පන්දුවාර 10 යවා නිමා කළේ ලකුණු 30ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්.

ධනුෂ්ක, කුසල් ජනිත්, ධනංජය සහ බණ්ඩාර ඔහුගේ ගොදුරු බවට පත් වුණා.

මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 3ක් සහ මොහොමඩ් සයිෆුදීන් කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගනිමින්.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක්, මහ්මුදුල්ලාහ් ලකුණු 54ක් සහ ටමිම් ඉක්බාල් ලකුණු 52ක් රැස් කළා.

ඔවුන්ගේ ඉනිමේ කඩුලු 4ක් ලකුණු 99කට දැවී ගොස් තිබූ අවස්ථාවක ඉනිම ගොඩ නැගූ මුෂ්ෆිකර් හා මහ්මුදුල්ලාහ් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබදතාවය ලකුණු 109ක්.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තා.

Leave a comment