Ultimate magazine theme for WordPress.

වගකීමක් දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි : කුසල් ජනිත්

කුසල් මෙන්ඩිස්ට උප නායකත්වයේ වගකීම ද ලබා දී ඇති බැවින් ඔහුගේ පිතිකරණයේ වෙනසක් අපේක්ෂා කළ හැකි වනු ඇති බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

අද(13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කුසල් මෙන්ඩිස්ට විවේක කාලයක් ලබා දීමට ගෙන තිබූ තීරණය ඉතා නිවැරැදි බවයි.

“කුසල් මෙන්ඩිස්ට ඇත්තටම ඒ විදිහ විවේකයක් හම්බුන එක හොදයි. ඕනෙම ක්‍රීඩකයෙක් උඩට යනව පල්ලෙහාට යනව. ඒ කාලෙට විවේකයක් ලැබෙන එක හොදයි.” යනුවෙන් කුසල් ජනිත් සදහන් කළා.

“වගකීමක් එක්ක තමයි එයාව ටීම් එකට එවලා තියෙන්නේ. එතකොට එයාට වගකීමක් දුන්නම එයා ටිකක් වෙනස් වෙයි කියලා මට හිතෙනවා පිතිකරණයේ දී. එයාට ලොකු ඉනිම් ක්‍රීඩා කරන්න පුලුවන්. ඒ වගේ කෙනෙක්ට වගකීමක් දුන්නම එයාගෙන් ගන්න පුලුවන් උපරිමය ගන්න පුලුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා.”

තමා කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ දී කටයුතු කරන බවත්, ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා නොකළහොත් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙන බවත්, කුසල් මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

එක් ආරම්භක පිතිකරුවෙකුගේ ස්ථානයක් ධනුෂ්ක ගුණතිලකට වෙන්ව ඇති බවයි කුසල් මෙහිදී පෙන්වා දුන්නේ.

“තේරීම් කමිටුවයි පුහුණුකරුයි එක්ක කතා කරන්න ඕනෙ. ඕපන් කරන්න ධනුෂ්ක ඉන්නවා, මම ඉන්නවා කිහිප දෙනෙක්ම ඉන්නවා. 2023 විතර වෙනකම් සැලසුමක් තියෙන්න ඕනෙ කවුද ඕපන් කරන්නේ කියලා. මොකද හැමවෙලාවෙම ගොඩක් ක්‍රීඩකයින්ව මාරු කරොත් ටීම් එකක් කවදාවත් හැදෙන්නේ නෑ. දික්කත් (දික්වැල්ල) ඉන්නවා ලිස්ට් එකේ. නැත්තෙ නෑ. මේ සංචාරයේ මම කීප් කරන්න ඉන්නෙ මොකද ඉස්සරහට අපි කණ්ඩායම බැලන්ස් (සමබර) කරන්නෙ කොහොමද කියල බලන්න ඕනෙ. මොකද ගොඩක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මෙතන අඩුයි. බැලන්ස් කරන එක මත තමයි මම ඕපන් ගහනවද 3 ගහනවද කියලා තීරණය වෙන්නේ.”

එමෙන්ම තරුණ ක්‍රීඩකයින් රැසක් සිටින බැවින් බංග්ලාදේශ තරගාවලියේ දී පන්දු රැකීමෙන් ලොකු වෙනසක් අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියා.

Leave a comment