Ultimate magazine theme for WordPress.

ලෝක කුසලාන අර්බුදය ගැන ICC යෙන් තවත් නිවේදනයක් – ප්‍රේක්ෂකයින්ටත් සහනයක්

කල් දමන ලද 2020 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ 2021 සහ 2022 වසරවලින් කුමන වසරේ දී දැයි මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය සදහන් කළේ ඉදිරි වසර ද්විත්වයේ දී (2021 හා 2022) පැවැත්වීමට තීරණය කළ 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉන්දියාවේ දි සහ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන නමුත්, කුමන වසරේ තරගාවලිය කුමන රටේ දී පවත්වන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

2018 – 2023 අයි.සී.සී තරග කාලසටහනට අනුව 2020 ලෝක කුසලාන 20යි 20 තරගාවලිය ඔස්ට්‍රේලියාවේ දී ද, 2021 වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ ද පැවැත්වීමට නියමිතව තිබූ අතර, 2022 වසර සදහා කිසිදු ලෝක කුසලාන තරගාවලියක් මීට පෙර සැලසුම් කර තිබුණේ නැහැ.

නමුත් එළඹෙන ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් 2021 හෝ 2022 වසර දක්වා කල් දමන බව ඊයේ(20) පැවැති අයි.සී.සී මණ්ඩල රැස්වීමෙන් පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඒ ආකාරයෙන්ම පවත්වමින් මෙවර තරගාවලිය 2022 වසරේ දී ඔස්ට්‍රේලියාවේ දී පවත්වන්නේද? , නැතහොත් ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලිය 2022 වසරට කල් දමා, මෙවර තරගාවලිය ලබන වසරේ(2021) දී ඔස්ට්‍රේලියාවේ දී පවත්වන්නේ ද යන්න අයි.සී.සීය ඉදිරියේ දී තීරණය කරනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් ජගත් ක්‍රිකට් කවුන්සලය වැඩිදුරටත් සදහන් කළේ මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට සහන සැලසීමට ද සූදානම් බවයි.

ඒ අනුව මෙවර තරගාවලිය 2021 වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාස දක්වා කල් දැමුණහොත්, අලෙවි කර ඇති ප්‍රවේශ පත්‍ර අදාළ තරගාවලියට කිසිදු ගැටලුවකින් තොරව භාවිත කළ හැකියි.

කෙසේ වෙතත්, ප්‍රකාශයට පත් කරන නව දිනවලදී තරග නැරඹීමට පැමිණීමට ප්‍රේක්ෂකයින්ට නොහැකිනම් ඔවුන් මිලදී ගත් ප්‍රවේශපත්‍රවල මුදල් නැවත ලබා දීමට සූදානම් බව ජගත් ක්‍රිකට් කවුන්සලය කියා සිටියා.

එළඹෙන දෙසැම්බර් 15 වනදාට පෙර ඔවුන් ඒ සදහා අයදුම් කළ යුතු බව ද සදහන්.

මේ අතර, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් දක්වා කල් දැමීමට සිදු වුවහොත් අලෙවි කර ඇති සියලු ප්‍රවේශ පත්‍රවල වටිනාකම ආපසු ගෙවීමට කටයුතු කරන බවත්, ඒ සදහා අයැදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, අයි.සී.සී ය නිවේදනය කළා.

ඒ අනුව තරගාවලියේ නව දින ප්‍රකාශයට පත් කරන තුරු මිලදී ගත් ප්‍රවේශ පත්‍ර ළග තබා ගැනීමේ අවසරය ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

මේ අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි – මාර්තු මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ද එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාස දක්වා කල් දැමුණා.

කෙසේ වෙතත්, ලබන වසරේ පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට අයි.සී.සීය ඊයේ පැවැති රැස්වීමේ දී තීරණය කළේ නැහැ.

Leave a comment