Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට ක්‍රීඩකයින් 22 ක් රැගෙන යාමට ICCයෙන් අවසර

අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරගාවලියන්හි සංචිත සදහා ක්‍රීඩකයින් හෝ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින් තවත් 7 දෙනෙකු ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය අවසර ලබා දී තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගතයත් සමග ඇතිව තිබෙන සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් අනතුරුවයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අයි.සී.සී රැස්වීම්වලින් පසුව මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙතෙක් පැවැති අයි.සී.සී ජ්‍යෙෂ්ඨ තරගාවලි සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු (සමස්තය 23ක්) සංචිතයකට ඇතුළත් කිරීමට හැකියාව පැවතුණා.

කෙසේ වෙතත්, එම සාමාජිකයින්ගේ ප්‍රමාණය 23 සිට 30ක් දක්වා ඉහළ නැංවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

නව නීතියත් සමග මෙම වසරේ පැවැත්වෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට සංචිතයකට ක්‍රීඩකයින් 22 දෙනෙකු නම් කිරීමේ හැකියාව පවතිනවා.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එළඹෙන 20යි 20 ලෝක කුසලානයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද මෙම අයි.සී.සී රැස්වීම්වලදී සාකච්ඡා පවත්වා තිබුණා.

එහිදී බදු විධිවිධාන සහ වීසා පිළිබද සහතිකයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ධනාත්මක සාකච්ඡා සිදු වන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය අයි.සී.සීය වෙත දැනුම් දී තිබෙනවා.

එම ගැටලු ලබන මාසයේ දී විසදා ගැනීමට හැකි වනු ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Leave a comment