Ultimate magazine theme for WordPress.

“ලීග් නිසා සතුරා මිතුරා වෙලා. ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් අවශ්‍යයි” – මාවන්

තම ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමේ දී ඉනිම් රැසකදී ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් අනතුරුව තමා ලකුණු කෑදරකමකින් පසු වූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මාවන් අතපත්තු පවසනවා.

ඒ අනුව තමාට හොද ආරම්භයක් ලබා ගැනීමට හැකි වුවහොත් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට තමන් අදිටන් කර ගෙන සිටි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

cricinfo cricket monthly වෙත අදහස් දක්වමින් මාවන් අතපත්තු මේ බව සදහන් කළා.

“සනත් ජයසූරිය සමග පිතිකරණයේ නිරත වීමට පැමිණීමේ දී එය මට තවත් පහසුවක් ඇති කළා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අවධානය යොමු කළේ සනත් වෙත. මාව දවා ගන්න උත්සාහ ගන්නවාට වඩා ඔහුව දවා ගන්නා ආකාරය පිළිබදයි ඔවුන් අවධානය යොමු කළේ. මොකද ඔහුට තරගය ඉක්මනින් ඔවුන්ගෙන් ඉවතට ගෙන යන්න පුලුවන් නිසා.”

යනුවෙන් හෙතෙම කියා සිටියා.

“මගේ ක්‍රිකට් ජීවිතය අවසන් වන විට ටෙස්ට් තරග 90කදී ඉනිමක සාමාන්‍ය සටහන් වුණේ 40ක් ලෙස. මුල්පෙල පිතිකරුවෙකුට එය හොද මදි. මේ දවස්වල 50ට වැඩි ප්‍රමාණයක් තමයි හොයන්නේ. මම ද්විත්ව ශතක 6ක් ලබා ගෙනත් මගේ සාමාන්‍ය 40ක් විදිහටයි තියෙන්නේ. මොකද මම අඩු ලකුණු සංඛ්‍යාවන්ට ගොඩක් දැවී ගොස් තියෙනවා.”

“ක්‍රීඩකයෙකු ලෙස හෝ පුහුණුකරුවෙකු ලෙස ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ යම් මට්ටමකට ළගා වූ විට ඔබ කණ්ඩාමට ලබා දෙන්නේ ඔබ ලබා ගත් අත්දැකීම්. මම පුහුණුකරුවෙකු ලෙස මේ අත්දැකීමට මුහුණ දුන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී. ඩිල්ෂාන්, සංගා, මහේල වගේ ක්‍රීඩකයින් ඉන්න කොට පුහුණුකරුවෙකුට ගොඩක් අමාරුයි මහේල කොහොමද පිතිකරණයේ නිරත විය යුත්තේ කියල කියන එක. නමුත් ඔබට අත්දැකීම් සහ විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් අතීතය උපයෝගී කරගෙන ඕෑනෑම මොහොතක කතා කළ හැකියි. එම තත්ත්වයන් ජය ගත්තේ කොහොමද කියන කාරණාවත් සමග.”

“මම ක්‍රීඩා කරන කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩකයින් බොහෝ කාලයක් එකට හිටියා. සනත්, කලුවිතාරන, රොෂාන්, අර්ජුන, අරවින්ද එතකොට හිටියා. ඔබ දන්නවා කණ්ඩායම මොකද්ද කියලා. ඉන්දියානුවෙක්ගෙන් ඇහුවත් ඒකාලෙ කියයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කවුද කියල. නමුත් අද ක්‍රීඩා කරන 11 දෙනා පිළිබද සලකා බැලුවොත් ඊළග තරගයේ දී ක්‍රීඩකයින් තුන් දෙනෙක් – පස් දෙනෙක් විතර කණ්ඩායමේ නැහැ. එය එම ක්‍රීඩකයින්ටත් හරි අමාරු දෙයක්. එය ප්‍රේක්ෂකයින්ටත් දුෂ්කර දෙයක්.(සිනාසෙමින්). හිටපු ක්‍රීඩකයින්ටත් එය බලන්න අමාරු දෙයක්.”

20යි 20 තරග රටාවත් සමග ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ අහිමි වී ගොස් ඇති බව ද මෙහිදී මාවන් අතපත්තු සදහන් කර සිටියා.

“90 දශකයේ අපි දැකපු හැසිරීම, අභිමානය අද දකින්න නැහැ. ලීග් තරගාවලි හැමතැනම තියෙනවා. ඔබේ පක්ෂපාතීත්වය කොහෙද?. ඒක මුම්බායි ඉන්දියන්ස් වෙතද? ශ්‍රී ලංකාව වෙතද? එය සැමවිටම සැකසහිතයි එහෙම නේද?. හරියට පාපන්දු ක්‍රීඩකයෙක් වගේ.”

“තරුණ ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන කොට ටිකක් අහංකාර වෙන්න ඕනෙ. අපි කියමු ඉන්දියාවට එරෙහිව කියලා. අපි ඔවුන්ගෙන් සමහරක් සමග 20යි 20 ලීග් ක්‍රීඩා කරන්නේ නම්, තරගකාරී සතුරුකම ස්වාභාවිකවම එන්නේ නැහැ එහෙම නේද?. මොකද ඔබ (ප්‍රතිවාදී ක්‍රීඩකයින්) මගේ මිතුරන්. මෙතනදි ක්‍රීඩකයින්ට බනින්න බැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙයි වෙනසක් වෙන්න ඕනෙ. ඔව් T20, T10 ඒ හැම දේම හොදයි. නමුත් මේවයි අපිට ඒ නිසා නැති වෙලා තියෙන දේවල්.”

Leave a comment