Ultimate magazine theme for WordPress.

රහීම් දැවී ගිය අයුරු ‘handled the ball’ නොවී ‘obstructing the field’ වුණේ ඇයි ?

පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද නිසා ටෙස්ට් ඉතිහාසයේ දී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු බවට පත් වීමට මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට අද (6) සිදු වූ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

නවසීලන්තය සමග අද මීර්පූර් හී දී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිමේ 41 වැනි පන්දුවාරයේ දී යි රහීම් මෙලෙස දැවී ගියේ.

එම පන්දුවාරයේ දී ක්යිල් ජමීසන් යොමු කළ පන්දුවකට රහීම් විසින් ආරක්ෂිත පරහක් එල්ල කරනු ලැබූ අතර, අනතුරුව ඔහු පිත්ත රදවා ගෙන නොසිටින අතින් පන්දුව ස්පර්ශ කරමින් පන්දුවේ ගමන් මග සිතා මතාම වෙනස් කරනු ලැබුවා.

ඒ අනුව නවසීලන්ත පන්දු රකින්නන් කළ ඉල්ලීමකින් පසුව පන්දු රැකීමට බාධා කිරීමේ (obstructing the field) දැවී යාම් නීති කාණ්ඩය යටතේයි රහීම් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කෙරුණේ.

ඉතිහාසයේ දී මෙවැනි දැවී යාම් පන්දුව අතින් ස්පර්ශ කිරීමේ වරද හෙවත් “handled the ball” යන දැවීයාම යනුවෙන් හදුන්වනු ලැබුවා.

නමුත්, මේ වන විට “handled the ball” යනුවෙන් වෙනම නීති කාණ්ඩයක් නැහැ. ඒ, 2017 වසරේ දී එම නීතිය සංශෝදනය කිරීම හේතුවෙන්.

එම නීතිය මේ වන විට පන්දු රැකීමේ කණ්ඩායමට බාධා කිරීමේ නීති කාණ්ඩය හෙවත් “obstructing the field” නීතියට ඇතුළත් කර තිබෙනවා.

37.1.2 නීතියට අනුව මෙම දැවී යාම පැහැදිලි කර ඇත්තේ මෙලෙසයි – “The striker is out obstructing the field if, except in the circumstances of 37.2, in the act of receiving a ball delivered by the bowler, he/she wilfully strikes the ball with a hand not holding the bat. This will apply whether it is the first strike or a second or subsequent strike. The act of receiving the ball shall extend both to playing at the ball and to striking the ball more than once in defence of his/her wicket.”

පන්දුව අතින් ස්පර්ශ කිරීම නිසා ටෙස්ට් තරගයකදී දැවී ගිය පළමු බංග්ලාදේශ පිතිකරු ලෙසයි රහීම් අද ඉතිහාසගත වුණේ. එමෙන්ම ටෙස්ට් ඉතිහාසයේ දී මෙම දැවී යාමට හසු වූ 8 වැනි පිතිකරු වන්නේ ද ඔහුයි.

පළමු වරට ටෙස්ට් තරගයකදී මෙම දැවී යාමට හසුව තිබුණේ එංගලන්ත ක්‍රීඩක William Endean. ඔහු 1951 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදී මේ ආකාරයෙන් දැවී ගියා.

නමුත්, 2017 වසරේ දී මෙම නීතිය සංශෝදනය කිරීමත් සමග obstructing the field වරද යටතේ ටෙස්ට් තරගයකදී දැවී යාමට හසු වූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ මුෂ්ෆිකර් රහීම්.

Leave a comment