Ultimate magazine theme for WordPress.

මෝර්නි මෝර්කල් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වෙයි

දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන මෝර්නි මෝර්කල් දේශීය ක්‍රීඩකයෙකු ලෙස මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය සදහා එක්වීමට තම කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කළ බව බ්‍රිස්බේන් හීට් කණ්ඩායම පවසනවා.

ඒ, ඔහු මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගෙන තිබීම හේතුවෙන්.

36 හැවිරිදි මෝර්කල් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 86කට, එක්දින තරග 117කට සහ 20යි 20 තරග 44කට ක්‍රීඩා කර තිබුණා.

පසුගිය තරග වාරයේ දී ඔහු පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සදහා එක් තරගයකට පමණක් ක්‍රීඩා කළා.

තරගාවලිය අතරතුර දී ක්‍රිස් ජෝර්ඩන් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර තිබුණේ.

කෙසේ වෙතත්, මෙවර සමස්ත තරග වාරය සදහාම මෝර්නි මෝර්කල් බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු 2018 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ අතර, ඉන් අනතුරුව පදිංචිය සදහා පවුලේ සාමාජිකයින් සමග ඔස්ට්‍රේලියාවට පැමිණියා.

මෙවර බිග් බෑෂ් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 3 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය මේ වන විට දෙසැම්බර් 10 වනදා දක්වා සතියකින් කල් දමා තිබෙනවා.

අවසන් මහා තරගය ලබන වසරේ පෙබරවාරි 6 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment