Ultimate magazine theme for WordPress.

මෙරට ක්‍රිකට් වසන්තය ජූලි 14 වනදා ඇරඹේ

කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් මෙම මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය වසංගත තත්ත්වයෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වනු ඇති.

එය ලබන අගෝස්තු මස 03 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුව බලාපොරොත්තුවෙන් පසුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුකූලව මෙලෙස ක්‍රිකට් තරග ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර සිටින ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සදහන් කර තිබුණේ.

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක යොදා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිසුරුවන්ට අත්වැසුම් පැළඳීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම මෙම කරුණු අතරට අයත්.

යළිත් දේශීය ක්‍රිකට් වසන්තය ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ අනුගමනය කළ යුතු කරුණු අතරට තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට ඇතුළත් කිරීමද සීමා කර තිබෙන බවයි.

එහිදී එම ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි සංඛ්‍යාවෙන් 20% කට පමණක් තරග නැරඹීමේ අවස්ථාව හිමිවන බව හෙතෙම කියා සිටියා.

Leave a comment