Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්ගේ ශතකය දසුන් හා ප්‍රසන්නගේ වේගවත් ඉනිම් හමුවේ අපතේ යයි

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Army Commander’s League 20යි 20 තරගාවලියේ තවත් තරග දෙකක් දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (10) පැවැත්වුණා.

එම තරග දෙක අතරින් වඩාත් තියුණු මුහුණුවරක් ගනිමින් දෙවන තරගය අවසන් වුණේ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය ලබා දෙන Northern Warriors කණ්ඩායමට කඩුලු 2 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්.

කාසියේ වාසිය දිනා ගනිමින් අසේල ගුණරත්න නායකත්වය දරන Eastern Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යව 166 ක්.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 113 ක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු 66 ක් පමණක් වැයකරමින් වාර්තා කල එම ඉනිමට හයේ පහරවල් 5 ක් හා හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුණා.

නායක අසේල ගුණරත්න ලකුණු 10 යි.

සෙසු එකදු පිතිකරුවෙකු හටවත් ලකුණු 10 හේ සීමාව පසුකර යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න, භානුක රාජපක්ෂ, ශිහාන් ද සිල්වා සහ හේෂාන් හෙට්ටිආරච්චි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පන්දුවාර 20 තුල ලකුණු 167 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසී Northern Warriors කණ්ඩායම පන්දුවාර 19.3 තුළ ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක සීක්කුගේ ප්‍රසන්න පන්දු 29 කින් ලකුණු 67 ක් වාර්තා කළේ පිටිය සිසාරා හයේ පහරවල් 7 ක් සහ හතරේ පහරවල් 4 ක් එල්ල කරමින්.

ඔහුට අගනා සහයෝගයක් ලබා දුන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පන්දු 46 කදී ලකුණු 59 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිම හයේ පහරවල් 4 කින් හා හතරේ පහරවල් 3 කින් වර්ණවත් වී තිබුණා.

ඒ අනුව තියුණු තරගයකින් අනතුරුව කඩුලු 2 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සීක්කූගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම සමත් වුණා.

Leave a comment