Ultimate magazine theme for WordPress.

මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබයි – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වන තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (31) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

ඒ අනුව මේ වන විට තරග 13කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 18ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට මුම්බායි කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙම පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවදුරටත් බලා සිටීමට දිල්ලි කණ්ඩායමට සිදු වුණා.

ඔවුන් තරග 13කට ක්‍රීඩා කර ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්.

ඔවුන් අවසන් වරට ක්‍රීඩා කළ තරග හතරම මේ වන විට පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණයි.

නායක ෂ්රෙයස් අයියර් ලකුණු 25ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන් කණ්ඩායම පන්දුවාර 14.2ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 111ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඉෂාන් කිෂාන් පන්දු 47කින් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් සමගින්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබන 5 වනදා ඩුබායිහී දී මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) සදහා ක්‍රීඩා කරනු ඇති.

එම තරගයෙන් ඔවුන් ජය ගතහොත් තරගාවලියේ අවසන් තරගයට මුම්බායි කණ්ඩායම සුදුසුකම් ලබන අතර, පළමු අවසන් තරගයෙන් පරාජයට පත් වුවහොත් ඔවුන් අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 3) සදහා සුදුසුකම් ලබනවා.

එසේ වුවහොත් ඔවුන්ට අවසන් වටයේ තෙවැනි තරගය ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සිදු වනු ඇති.

Leave a comment