Ultimate magazine theme for WordPress.

මුම්බායි අවසන් වටයට – චෙන්නායට කඩුලු 6ක ජයක්

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට(playoffs) සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද (29) පැවැති චෙන්නායි – කොල්කටා අතර තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

ඩුබායිහි පැවැති මෙම තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල කඩුලු 6කින් පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට, මුම්බායි කණ්ඩායම හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වීමට නොහැකි නිසා මෙලෙම මුම්බායි කණ්ඩායම අවසන් වටයේ සිය ස්ථානය මේ වන විට තහවුරු කර ගෙන තිබෙනවා.

අද පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා පිල කඩුලු 5ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

නිටිෂ් රානා පන්දු 61කින් ලකුණු 87ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් සමගින්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 34කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

රුටුරාජ් ගයික්වඩ් පන්දු 53කින් ලකුණු 72ක් රැස් කළා.(6×2 4×6)

රවීන්ද්‍ර ජඩේජා පන්දු 11කින් හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 31ක් ලබා චෙන්නායි පිලට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

ඒ, ඉනිමේ අවසන් පන්දු දෙකට දැවැන්ත හයේ පහර දෙකක් ද එල්ල කරමින්.(දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තවදුරටත් පවතිනවා.

ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා.

Leave a comment