Ultimate magazine theme for WordPress.

මැයි 4 පැවැත්වෙන T 20 තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ නම් නිවේදනය කෙරේ

ලබන 4 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායමක් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(29) නිල නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම හදුන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ යනුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම ලෙස හැදින්වීමට නියමිතයි.

මැයි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගයෙන් උපයා ගනු ලබන සියළු මුදල් කොවිඩ් 19 වසංගතයට එරෙහි සටන වෙනුවෙන් බැර කෙරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

1996 වසරේ ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින, නැගී එන සහ සංවර්ධන සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විතව ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම නිර්මාණය කර ඇති බවයි.

20යි 20 තරගයක් ලෙස මැයි 04 වැනිදා රාත්‍රී 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අදාළ තරගය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබෙනවා.

Leave a comment