Ultimate magazine theme for WordPress.

මහේෂ් හා ධනංජයගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ වොරියර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

අබුඩාබී T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී තරග වදින කණ්ඩායම් ද්විත්වය ඊයේ (05) දිනයේ පැවති අවසන් වටයේ තරග ත්‍රිත්වය (Qualifier‍, Eliminator 01 සහ Eliminator 02) අනුසාරයෙන් මේ වන විටත් තෝරා ගෙන අවසන්.

ඒ අනුව අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.30 ට ආරම්භ වීමට නියමිත අවසාන මහා තරගයේදී දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින් නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

දිල්ලි බුල්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබූ ප්‍රථම කණ්ඩායම බවට පත් වූයේ ඒ සදහා පැවැති අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier) නොදර්න් වොරියර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමින්.

කෙසේ වෙතත්, ඉන් පරාජයට පත් වූ වොරියස් කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවූ අතර, ඒ අනුව ඔවුන් අවසන් වටයේ තෙවැනි තරගයට (Eliminator 02) සුදුසුකම් ලබා ගත්තා.

කලැන්ඩර්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම අතර ඊයේ දිනයේ පැවති අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator 01) කඩුලු 6 ක ජයග්‍රහණයක් හිමිකරගත් අබුඩාබී කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගයේ දී වොරියර්ස් කණ්ඩායමට එරෙහි ප්‍රතිවාදීන් බවට පත් වුණා.

ඒ අනුව දෙවන අවසන් තරගයෙන් පරාජයට පත් වූ කලැන්ඩර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

දිල්ලි බුල්ස් කණ්ඩායම සමගින් අවසන් මහා තරගයේදී කරට කර තරග වදින අනෙක් කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවති අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Eliminator 02 තරගයේදී නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ජය හිමි කර දෙමින් අවසාන මහා තරගයට රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන මහේෂ් තීක්ෂණ හා ධනංජය ලක්ෂාන් ද අනර්ඝ පන්දුයැවීමකින් දායකත්වය දැක් වීමට සමත් වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නොදන් වොරියර්ස් කණ්ඩායමේ නායක නිකලස් පූරාන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අබුඩාබි කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි අබුඩාබි කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 7 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 114ක්.

වේගවත් ඉනිමක් දියත් කල පෝල් ස්ටර්ලීන් හයේ පහරවල් 6 ක් සමගින් පන්දු 13 කදී ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූ අතර, ජෙමී ඕවර්ටන් ලකුණු 15 යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ෆේබියන් ඇලන් ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

එක් පන්දු වාරයක් ක්‍රියාත්මක කල ධනංජය ලක්ෂාන් ලකුණු 7 ක් පමණක් ලබාදී එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

කඩුල්ලක් දවාගැනීමට නොහැකි වුවත් අනර්ඝ පන්දු යැවීමක නිරතවු මහේෂ් තීක්ෂණ, තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 2 තුළ ලබා දුන්නේ ලකුණු 15 ක් පමණයි.

ලකුණු 115 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නොදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 4 කදී කඩුලු 3ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ලින්ඩ්ල් සිමන්ස් පන්දු 27 කදී නොදැවී ලකුණුු 46 ක් රැස් කළ අතර රොව්මන් පවෙල් පන්දු 24 කදී ලකුණු 49 ක් රැස් කළා.

පන්දු යැවීමේදී රොහාන් මුස්තාෆා, නවීන් උල් හක් සහ ඔබෙඩ් මැකෝයි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව අබුඩාබි කණ්ඩායමට එරෙහිව කඩුලු 7 කින් ජයග්‍රහණයක් වාර්තා කළ නොදර්න් වොරියර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

තරගයේ වීරයා ෆේබියන් ඇලන්

Leave a comment