Ultimate magazine theme for WordPress.

මතීෂ, වනිදු හා චන්දිමාල් සමග අෆ්රිඩි වසර 3කට එක් වෙයි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 (ILT20) තරගාවලියේ දෙවැනි අදියර ක්‍රීඩා කිරීම වෙනුවෙන් Desert Vipers කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව ඔහු එම තරගාවලිය ක්‍රීඩා කරන පළමු පාකිස්තාන ක්‍රීඩකයා බවට පත් වනු ඇති.

වසර 3ක කාලයක් සදහා අෆ්රිඩි Vipers කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති අතර, තරගාවලියේ දෙවැනි අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේ දී යි.

දකුණු අප්‍රිකාවේ SA20, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හා ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ද එම කාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ජනවාරි 13 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති බැවින් අෆ්රිඩි ජනවාරි මස මුල අවසන් වන පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් අනතුරුව Vipers කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

පළමු අදියර සදහා පාකිස්තානයේ අසාම් ඛාන් ගිවිසුම් ගත වී සිටි නමුත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඔහුට තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දුන්නේ නැහැ.

Desert Vipers කණ්ඩායම විසින් දෙවැනි අදියර සදහා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග‍, මතීෂ පතිරණ හා දිනේෂ් චන්දිමාල් සිය සංචිතයේ රදවා ගැනීමට මීට පෙර පියවර ගත්තා.

ඊට අමතරව ටොම් කරන්, ඇලෙක්ස් හේල්ස්, ශෙල්ඩන් කොට්‍රෙල්, කොලින් මන්රෝ වැනි ක්‍රීඩකයින් ද එම සංචිතයට ඇතුළත්.

ශ්‍රී ලංකාවේ චරිත් අසලංක හා දුෂ්මන්ත චමීර ද ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් විසින් දෙවැනි අදියර සදහා සිය සංචිතවල රදවා ගත්තා.

කෙසේ වෙතත්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් සංචිතවලින් නිදහස් කිරීමටයි කණ්ඩායම් හිමිකරුවන් පියවර ගත්තේ.

පසුගිය ILT20 තරග වාරය සදහා ක්‍රීඩා කළ ඩුබායි කැටප්ල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතයේ රදවා නොගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබුණේ ඔහු එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

Leave a comment