Ultimate magazine theme for WordPress.

බ්‍රේසි දවා ගැනීමට සවුති යොමු කළ සුපිරි පන්දුව; එංගලන්ත පළමු ඉනිම 275කට සීමා වෙයි

රොරී බර්න්ස්ගෙන් සටන්කාමී ශතකයක්

එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි(5).

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 275කට සීමා කිරීමට ටිම් සවුති ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

දිනයේ පළමු පන්දුවෙන්ම නායක ජෝ රූට් ලකුණු 42කට දවා ගැනීමට කයිල් ජමිසන් සමත් වුණා.

අනතුරුව නම් දැරූ කිසිදු පිතිකරුවෙකුගෙන් එංගලන්ත ඉනිමට සැලකිය යුතු දායකත්වයක් හිමි නොවූ පසුබිමක හුදෙකලා සටනක් දියත් කළ ආරම්භක පිතිකරු රොරී බර්න්ස් සිය 3 වන ටෙස්ට් ශතකය අද වාර්තා කළා.

ඔහු ලකුණු 132ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 16ක් සමගින්.

ඔලී පෝප් ලකුණු 22කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් ලකුණු 42ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක කඩුලු පහක් දවා ගත් 12 වන අවස්ථාව අද සටහන් කිරීම විශේෂත්වයක්.(ලකුණු 43කට කඩුලු 6ක්)

මංගල තරගයට ක්‍රීඩා කරන ජේම්ස් බ්‍රේසි ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ටිම් සවුති යොමු කළ සුපිරි පන්දුවට මේ වන විට ලොව පුරා බොහෝ ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් යොමුව ඇති බවක් ද දක්නට ලැබෙනවා.

එහිදී ටිම් සවුති පිතිකරුවා තුළට දෝලනය කළ පන්දුව නිසි අයුරින් හදුනා ගැනීමට නොහැකි වීම නිසා ජේම්ස් බ්‍රේසි දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී පිට ඉන්න ගැලවී යාමත් සමගයි.

එම කඩුල්ල සනිටුහන් කළේ එංගලන්ත ඉනිමේ කඩුලු 3ක් ලකුණු බින්දුවක් තුළ දැවී යාම වීම ද විශේෂත්වයක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළ අතර, ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 103ක්.

Leave a comment