Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසි වීමේ දැඩි අවධානමක

Match Report

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු දෙකක පරාජයක් ලබමින් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමේ දැඩි අවධානමකට ඇද වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(8) සිදු වුණා.

ඩලස්හී දී පැවැති තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 125 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 19 ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෞම්‍ය සාකාර් ලකුණු නොලබා සිටියදීත්, ටන්සිඩ් හසාන් ලකුණු 3කටත්, නජ්මුල් හොසේන් ලකුණු 7කටත් දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත්, ලිටොන් දාස් ලකුණු 36(38) ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 40(20) ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.

හ්රිදෝයි බංග්ලාදේශ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී වනිදු හසරංගට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීම බංග්ලාදේශයට ජයග්‍රහනයේ මාවත පහසු කළ නමුත්, නුවන් තුෂාරගේ අනර්ඝ පන්දු යැවීම බංග්ලාදේශයට දැඩි අභියෝගයක් එල්ල කළා.

තුෂාර මෙම තරගයේ දී පන්දුවාර 4 තුළ දී ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

අවසන් පන්දු 18 තුළ දී ලකුණු 14 ක් ජයග්‍රහනය සදහා බංග්ලාදේශයට අවශ්‍ය වූ අතර, නුවන් තුෂාර විසින් 18 වැනි පන්දුවාරයේ දී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළා. ඒ අනුව අවසන් පන්දු 12 තුළ දී බංග්ලාදේශයට ජයග්‍රහනයට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 11 ක්.

නමුත්, දසුන් ශානක යොමු කළ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවම තණතීරුවේ පතිත නොවී ( full toss) මහ්මුදුල්ලාහ් වෙත ඇදී ආ අතර, එම පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට මහ්මුදුල්ලාහ් සමත් වුණේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමින්. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 16(13) යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 124 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

පැතුම් නිස්සංක පන්දු 28 කින් ලකුණු 47 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන් නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැකගත හැකි වූයේ නැහැ.

කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 4 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 21 කටත් දැවී ගියා. චරිත් අසලංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19 ක්.

වනිදු හසරංග පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රිෂාද් හොසේන් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ටස්කින් අහ්මඩ් ලකුණු 25 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.

Leave a comment