Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයේ පැවැති අවසන් එක්දින තරගාවලි 10 න් නවයකම ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව නායකත්වයක් සමග තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ වන විට බංග්ලාදේශයේ රැදී සිටිනවා.

පසුගිය 16 වනදා ඔවුන් බංග්ලාදේශය බලා පිටත්ව ගිය අතර, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දින 3ක නිරෝධායන කාලසීමාවක් ගත කරමිනුයි පසුවන්නේ.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායමට ඇතුළත් නොකරමින් නවක ක්‍රීඩකයන් වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබුණේ.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරාගේ නව නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශට එරෙහිව තරග වැදීමට නියමිත අතර පළමු එක්දින තරගය ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ අත්දැකීම් බහුල පිතිකරු ටමීම් ඉක්බාල්.

නිමා වූ ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, මෙම එක්දින තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශය විසින් දැරීම හේතුවෙන් එම කණ්ඩායම කිසිසේත් සුළුකොට තැකීමට හැකියාවක් නැහැ.

අවසන් වරට බංග්ලාදේශය සිය රටේදී ක්‍රීඩා කළ එක්දින තරගාවලි 10 න් 9 ක්ම ඔවුන් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශය එහිදී පරාජය වී ඇත්තේ එංගලන්ත කණ්ඩායමට එරෙහි තරගාවලියක් පමණයි.

ප්‍රබල ඉන්දිය කණ්ඩායමට, පාකිස්තාන කණ්ඩායමට පවා අමතක නොවන පරාජයන් අත් කර දීමට බංග්ලාදේශය සිය රටේ දී සමත් වුණා.

බංග්ලාදේශය අවසන් වරට සිය රටේදී ක්‍රීඩා කළ එක්දින තරගාවලි දහයේ ජය පරාජ වාර්තාව පහතින් –

  • බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලිය (2020/21) – බංග්ලාදේශයට ජය (3-0)
  • සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය (2019/20) – බංග්ලාදේශයට ජය (3-0)
  • කොදෙව්වන්ට එරෙහි තරගාවලිය (2018/19) – බංග්ලාදේශයට ජය (2-1)
  • සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය (2018/19) – බංග්ලාදේශයට ජය (3-0)
  • එංගලන්තයට එරෙහි තරගාවලිය (2016/17) – එංගලන්තයට ජය (2-1)
  • ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගාවලිය (2016/17) – බංග්ලාදේශයට ජය (2-1)
  • සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගාවලිය (2015/16) – බංග්ලාදේශයට ජය (3-0)
  • දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය (2015) – බංග්ලාදේශයට ජය (2-1)
  • ඉන්දියාවට එරෙහි තරගාවලිය (2015) – බංග්ලාදේශයට ජය (2-1)
  • පාකිස්තානයට එරෙහි තරගාවලිය (2015) – බංග්ලාදේශයට ජය (3-0)
Leave a comment