Ultimate magazine theme for WordPress.

පාන්ඩ්යාට ලබන වසරේ දී IPL තරගයක තහනමක් – තුෂාරටත් ලක්ෂ 43 ක පමණ දඩයක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යාට එක් අයි.පී.එල් තරගයක තහනමක් පනවා තිබෙනවා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ඊයේ(17) රාත්‍රියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර 20 යවා අවසන් කිරීමට මුම්බායි පිල අසමත් වීම හේතුවෙන්.

මුම්බායි කණ්ඩායම මෙවර තරග වාරයේ දී ක්‍රීඩා කළ අවසන් තරගය ඊයේ පැවැති තරගයයි. ඒ අනුව පාන්ඩ්යාට ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ. ඔහු මුම්බායි කණ්ඩායම වෙනුවට 2025 වසරේ දී වෙනත් කණ්ඩායමක් නියෝජනය කළහොත්, එම කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ද පාන්ඩ්යාට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

2024 තරගාවලියේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් නොකිරීමේ වරද මුම්බායි කණ්ඩායම විසින් සිදු කළ තෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව තරග තහනමට අමතරව නායක හර්ඩික් පාන්ඩ්යාට ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 107 ක් පමණ) දඩ මුදලක් ද නියම කර තිබෙනවා. සෙසු ක්‍රීඩකයින්ට (Impact Player ඇතුළුව) ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 43 ක් පමණ) හෝ තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම තරගය සදහා මුම්බායි වෙනුවෙන් නුවන් තුෂාර ද ක්‍රීඩා කළා.

ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ද මුම්බායි පිල ලකුණු 18 ක පරාජයක් ලද අතර, ඒ අනුව මෙවර අයි.පී.එල් අදියර ඔවුන් අවසන් කළේ තරග 14 න් තරග 10 ක් ම පරාජයට පත් වෙමින්. ප්‍රසාද ලකුණු 8 ක් හිමි කර ගත් ඔවුන්ට හිමි වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

පසුගිය තරගාවලි දෙකේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්ඩික් පාන්ඩ්යා මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියට පෙර මුම්බායි කණ්ඩායම විසින් සෘජුව මිලදී ගත් අතර, පසුව රෝහිත් ෂර්මා ඉවත් කර කණ්ඩායමේ නායකත්වය ද ඔහුට ලබා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, තරගාවලිය පුරාම ඔහුට එරෙහිව දැඩි ප්‍රේක්ෂක විරෝධයක් පැවැති බවක් දක්නට ලැබුණා. පාන්ඩ්යා මෙවර තරගාවලියේ දී ලකුණු 216 ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 18 ක් ලෙස සටහන් කර ගනිමින්. පන්දු යැවීමේ දී ඔහු කඩුලු 11 ක් දවා ගත්තා. ඒ, පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 10.75 ක් (economy)  ලබා දෙමින්.

Leave a comment