Ultimate magazine theme for WordPress.

ප්‍රේක්ෂකයින් නොමැතිව අයි.පී.එල් පැවැත්වීමට සූදානම් – ගංගුලි ලිපියකින් දන්වයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ගන්නා අනාගත ක්‍රියාමාර්ග පිළිබද කඩිනමින් තීරණය කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ප්‍රාන්ත සංගම් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව වුවද මෙවර තරගාවලිය පැවැත්වීම එරට ක්‍රිකට් ආයතනයේ ආදායමට අතිශය වැදගත් වීම හේතුවෙන් ඔවුන් තරගාවලිය පැවැත්වීම සදහා දැඩි උත්සාහයක නිරත වනවා.

ලබන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේද, කල් දමන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා ඊයේ දිනයේ දී ජගත් ක්‍රිකට් කවුන්සල රැස්වීමක් ද පැවැති නමුත්, එහිදී තීරණය කෙරුණේ එම තීරණය ගැනීම ලබන මාසය දක්වා කල් දැමීමටයි.

ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට පියවර ගතහොත් මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අයි.පී.එල් තරගාවලිය ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කළ හැකි බැවින් ඊයේ දිනයේ පැවැති අයි.සී.සී රැස්වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ද දැඩි අවධානයක් යොමු කර තිබුණා.

“ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව හෝ අයි.පී.එල් තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීම සදහා ගත හැකි සියලු විකල්ප සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. ප්‍රේක්ෂකයින්, කණ්ඩායම්, ක්‍රීඩකයින්, විකාශන ආයතන, අනුග්‍රාහකයින් සහ අනෙක් පාර්ශවකරුවන් අයි.පී.එල් තරගාවලිය මෙම වසරේ දී පැවැත්වීමට උනන්දුවෙන් පසුවනවා.”

යනුවෙන් ගංගුලි සිය ලිපියෙන් සදහන් කර තිබෙනවා.

“අයි.පී.එල් තරගාවලියට එක්වන ඉන්දියාවේ සහ අනෙක් රටවල්වල ක්‍රීඩකයින් ද මෑතකදී මෙම වසරේ තරගාවලියට එක් වීම සදහා සිය කැමැත්ත පල කර තිබෙනවා. අපි සුබවාදීයි වගේම අනාගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නවා.”

Leave a comment