Ultimate magazine theme for WordPress.

“ප්‍රේක්ෂකයින්ගේ මානසික සුවයටත් LPL හේතුවක් වෙයි මේ වෙලාවෙ” – බන්දුල වර්ණපුර

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ගැටලු රැසකට මුහුණ දී සිටින මෙරට ක්‍රීඩාලෝලීන්ට ද මානසික සුවයක් අත්කර ගැනීමට හේතු වනු ඇතැයි මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සමග අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව සිටින ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබද ඇගයීමක් සිදු කිරීමට ද මෙම තරගාවලිය හේතු වනු ඇති බවයි.

“ඇත්තටම මේ තරගාවලිය සංවිධානය කිරීම ක්‍රීඩකයින්ට විතරක් නොවෙයි. මේ දිනවල සෞඛ්‍ය ගැටළු සහ වෙනත් ප්‍රශ්නවලට මුහුණ දී සිටින ක්‍රීඩාවට ආදරය දක්වනු ලබන අපේ ජනතාවටත් විශාල වශයෙන් කායික මෙන්ම මානසික සුවයක් අත්කර ගැනීමට මේ තරගාවලිය තුළින් හැකි වෙනවා. ඒ අනුව මේ වගේ තරගාවලියක් පැවැත්වීම සම්බන්ධව ක්‍රිකට් ආයතයනයට ප්‍රශංසාව හිමිවිය යුතුයි” යනුවෙන් වර්ණපුර මහතා සදහන් කළා.

“ක්‍රීඩකයින් වුණත් දිගටම ක්‍රීඩාවේ යෙදිලා හිටියේ නැත්නම් ඔවුන්ගේ දක්ෂතා අඩු වෙනවා. ඒ නිසා ඔවුන් අඩුම ගාණේ ව්‍යායාම්වල හෝ නිරත විය යුතුයි. මේ වගේ වෛරසයක් රට තුළ ආසාධනය වීම නිසා ක්‍රීඩකයින්ට තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ඇත්තටම මෙවැනි තරගාවලියක් පැවැත්වීම තුළින් ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා ගැන සැලකිය යුතු මට්ටමේ තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා”

“මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී දේශීය තරගවලදී සිය දක්ෂතා හිර කරගෙන ඉන්න ක්‍රීඩකයින්ට තම දක්ෂතාවයන් පෙන්වීමට පමණක් නොවෙයි ජාත්‍යන්තර කරා යෑමට හොඳ අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ක්‍රිකට් ගහන හැම ක්‍රීඩකයෙක්ටම ජාත්‍යන්තර තරග හෝ විදේශයන්හි පැවැත්වෙන තරග වලට ක්‍රීඩා කිරීමේ අවස්ථාවන් ලැබෙන්නේ හරි අඩුවෙන් කියලා. අන්න ඒ වගේ ක්‍රීඩකයින්ට එතෙරින් එන දක්ෂ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමේදී ඔවුන් තරගයකට හැඩ ගැහෙන විදිය, ක්‍රීඩා කිරීමේදී භාවිතා කරනු ලබන විවිධ උපක්‍රම වගේ දේවල් පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා”.

“ඒ වගේම ක්‍රීඩකයින්ට ක්‍රීඩා කටයුතු මෙන්ම ජීවත් වෙන්න සල්ලි උවමනා කරනවා. මොකද ඔවුන් වෙන රැකියාවක් කරන්නේ නැති නිසා. අපේ කාලෙ නම් අපි ක්‍රීඩා කළේ රැකියාවක් කරන ගමන්. නමුත් අද තත්ත්වය වෙනස්. අද ක්‍රීඩකයින් කරන්නේ ක්‍රීඩාවම විතරයි. එක්කෝ ලංකාවේ. නැත්නම් පිට රටක. ඉතිං මේ වගේ තරගාවලියක් සංවිධාන කිරීමේදී ක්‍රීඩකයින්ගේ මූල්‍ය ගැටළුවලටත් මේ වගේ තරගාවලියක් පැවැත්වීමේදී විසඳුමක් ලැබෙනවා”

“මූල්‍යමය අතින් බැලුවහම වාසි වෙයිද පාඩු වෙයිද කියලා කියන්න අමාරුයි. ඒක තරගාවලිය ගහලම බලන්න ඕන. මේ තරගාවලියේදී ප්‍රවේශ පත්‍ර වලින් ආදායමයක් එන්නෙත් නෑ. කොහොම වුණත් තරගාවලියක් සාර්ථක කර ගන්න අනුග්‍රාහක ආයතන ඉදිරියට එන්න ඕන. ඒ වගේමයි ප්‍රේක්ෂකයින්. අපි දැක්කා අයි. පී. එල්. තරගාවලිය නරඹන්න අපේ ක්‍රීඩා ලෝලීන් දැඩි උනන්දුවක් දැක්වුවා. ඉතිං අපේ රටේ ඒ වගේ තරගාවලියක් පැවැත්වෙද්දී අයි. පී. එල් නැරුඹුවාටත් වඩා උනන්දුවක් දක්වාවි කියලා මම විශ්වාස කරනවා”

ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව එක්දින තරගවලදී පළමු ජයග්‍රහණය අත්කර දුන් නායකයා ලෙසින්ද බන්දුල වර්ණපුර මහතා ඉතිහාසගත වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති වර්ණපුර මහතා 1975 සහ 1979 යන වසරවල එංගලන්තයේ පැවැති පළමු ලෝක කුසලාන දෙක සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් ද කටයුතු කළා.

ඔහු කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද මංගල තරගයේදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 08 ක් ලබා ගත් අතර, වර්ණපුර මහතා විසින් එල්ල කරන ලද පළමු හතරේ පහර මෙරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවකු එල්ල කරන ලද පළමු හතරේ පහර ලෙසයි ඉතිහාස ගත වී ඇත්තේ.

දකුණ් පිතිකරුවෙකු වූ බන්දුල වර්ණපුර මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්ම ටෙස්ට් ලකුණ ලබාගත් පිතිකරුවා ද වනවා.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් 11 දෙනා අතර මංගල පන්දුවාරය අසන්ත ද මෙල් මහතා ක්‍රියාත්මක කරද්දී අනෙක් අන්තයෙන් ආරම්භක පන්දු යවන්නා ලෙසින් ද කටයුතු කළේ වර්ණපුර මහතායි.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්)

Leave a comment