Ultimate magazine theme for WordPress.

ප්‍රේක්ෂකයින් 90,293 ක් ඉදිරියේ කෝලිගේ සුපිරි සටන ඉන්දියාවට අනපේක්ෂිත ජයක් ගෙන දෙයි

Match Report

පන්දු 53 කින් නොදැවී ලකුණු 82 ක් රැස් කරමින් විරාට් කෝලි ක්‍රීඩා කළ සුපිරි සටන්කාමී පිතිහරඹය හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (23) සමත් වුණා.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් 90,293 ක් ඉදිරියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 159 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කේ.එල් රාහුල් හා රෝහිට් ෂර්මා ලකුණු 4 බැගින් ලබා සිටියදී දවා ගැනීමට පිළිවෙලින් නසීම් ශාහ් හා හැරිස් රවුෆ් සමත් වුණා. රවුෆ්ගේ පන්දුවක් හමුවේම සූර්යකුමාර් යාදව් ද ලකුණු 15 කට දැවී ගිය අතර, අනතුරුව අක්සාර් පටෙල් ලකුණු දෙකකට දුවද්දී දැවී ගියේ තරගයේ සම්පූර්ණ පාලනය පාකිස්තානයට හිමි කර දෙමින්. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන්ව තිබුණේ කඩුලු 4කට ලකුණු 31 ක් ලෙසයි.

නමුත් පසුව 5 වැනි කඩුල්ලට පිටියේ එක් වූ විරාට් කෝලි හා හර්ඩික් පාන්ඩ්යා පන්දු 78 කින් ලකුණු 113 ක සුපිරි සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාව යළි සටනට අවතීර්ණ කළේ ඉන්දීය ප්‍රේක්ෂකයින්ට යළි බලාපොරොත්තුවක් එක් කරමින්.

මොහමඩ් නවාස් යොමු කළ අවසන් පන්දුවාරයේ දී ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 16 ක් අවශ්‍ය වුණා.

තරගයේ උණුසුම තවදුරටත් ඉහළ නංවමින් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම පාන්ඩ්යා ලකුණු 40(37) කට දැවී ගියා. එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව නිපන්දුවක් වූ අතර, ඊට හයේ පහරක් එල්ල කිරීමට විරාට් කෝලි සමත් වුණේ තරගයේ පාලනය සිය කණ්ඩායමට හිමි කර දෙමින්.

තරගයේ අවසන් පන්දු දෙක තුළ දී ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 2ක් අවශ්‍ය වුණා. එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී දිනේෂ් කාර්තික් දැවී යාමත් සමග තරගයේ ජය යළිත් දෙපිලටම දෝලනය වූ අතර, අනතුරුව පිටියට පිවිසියේ රවිචන්ද්‍රන් අශ්වින්.

ඉනිමේ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් යොමු කළ බැවින් අවසන් පන්දුවේ දී ජයග්‍රහනය සදහා ඉන්දියාවට අවශ්‍ය වූයේ එක් ලකුණක් පමණයි. ඒ අනුව අවසන් පන්දුවේ දී අශ්වින් ජයග්‍රාහී ලකුණ හිමි කර ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමට සුපිරි ජයග්‍රහනයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩාමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ බාබර් අසාම් ලකුණු නොලබා සිටියදී පළමු පන්දුවෙන් ද, මොහමඩ් රිස්වාන් ලකුණු 4කට ද දවා ගැනීමට අර්ෂ්දීප් සිං සමත් වුණා.

කෙසේ වෙතත්, ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 34 කින් හයේ පහර 4 ක් ද සමගින් ලකුණු 51 ක් ලබා ගනිමින් පාකිස්තානය යළි සටනට අවතීර්ණ කළා. සෙසු සියලු මැද පෙල පිතිකරුවන් අසාර්ථක වෙද්දී අංක 3 පිතිකරු වූ ශාන් මසූඩ් පන්දු 42 කින් නොදැවී ලකුණු 52 ක් ලබා ගනිමින් පාකිස්තානය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 16(8) යි.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Show Comments (1)