Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගය අද – මැතිව්ස් නිසා චන්දිමාල්ට ස්ථානය අහිමි වන ලකුණු

Preview

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(21) ආරම්භ වනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී තරගය ආරම්භ වන්නේ පෙරවරු 10ටයි.

සාමාන්‍යයෙන් මෙරට පැවැත්වෙන ටෙස්ට් තරග සදහා දග පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගැනීම සිදු වුවද, මෙම තරගය සදහා වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකස් කර ඇති බැවින් කණ්ඩායම් දෙකම වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරගයට එක් වනු ඇති.

කොදෙව් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගාවලියට කැදවා ඇති අතර, ඒ හේතුවෙන්  ඇතැම් විට දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වීමේ ඉඩකඩ පවතිනවා.

නිමා වූ කොදෙව් තරගාවලියේ දී නවක ක්‍රීඩක පැතුම් නිස්සංක කැපී පෙනන දක්ෂතා දැක්වීම හේතුවෙන් කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය ද මේ වන විට බොහෝ දුරට ස්ථාවර වී තිබෙනවා.

“අපි ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරලා තියෙනවා.” පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සදහන් කළා.

“අපි තාමත් අවසන් 11 දෙනා තීරණය කරලා නැහැ. චන්දිමාල් සහ මැතිව්ස් අතර තරගයක් තියෙනවා. සෙසු ක්‍රීඩකයින් පසුගිය මාස කිහිපයේ දී හොදින් ක්‍රීඩා කරලා තියෙනවා. අපිට අවශ්‍යයි උදේට තණතීරුව බලන්න. අනතුරුව අපි තීරණය කරනවා කවුද ක්‍රීඩා කරන්නේ කියලා”

තරගය පැවැත්වෙන පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

ශ්‍රී ලංකාව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරග 7කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

තරග 3ක් ඔවුන් පරාජයට පත්වෙද්දී සෙසු තරග 3 ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

අදින් ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගාවලියයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර, තරග 6ක් ඔවුන් පරාජයට පත්ව තිබෙනවා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 3ක්.

ප්‍රසාද ලකුණු 120කටත්, 20%ක ජයග්‍රහන ප්‍රතිශතයකටත් හිමිකම් කියන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත් වූ බංග්ලාදේශය එහි අවසන් ස්ථානයේ(9) රැදී සිටිනවා.

Leave a comment