Ultimate magazine theme for WordPress.

“පන්දුවේ කෙළ තැවරීමෙන් කිසිම සෞඛ්‍ය අවධානමක් නැහැ” – ෂෝන් පොලොක්

ජෛව-ආරක්ෂක පරිසරයක් තුළ තරග පැවැත්වෙන්නේනම් පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තුළින් කිසිදු සෞඛ්‍ය අවධානමක් ඇති නොවන බව දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සහ විස්තර විචාරක ෂෝන් පොලොක් පවසනවා.

කොරෝනා වෛරසය වැළදීමේ අවධානම සැලකිල්ලට ගනිමින් ජගත් ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව පසුගියදා නිර්දේශ කළේ පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය (කෙළ) යොදා ගැනීම තහනම් කිරීමටයි.

කෙසේ වෙතත්, දහඩිය තුළින් එය සිදු කිරීමට අයි.සී.සී ක්‍රිකට් කමිටුව අවසර ලබා දුන්නා.

මෙම තීරණයට බොහෝ පාර්ශවවලින් සුබවාදී ප්‍රතිචාර හිමි වන බවක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ වන විට එංගලන්ත ක්‍රිකට් ආයතනය බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා සූදානමින් පසුවනවා.

අදාළ තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජෛව-ආරක්ෂක පරිසරයක් තුළ දී ලබන මස 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

ෂෝන් පොලොක් පෙන්වා දෙන්නේ එවැනි පරිසරයක් තුළ ක්‍රීඩා කිරීමේ දී කිසිදු ක්‍රියාකාරකමක් තහනම් කිරීමේ අවශ්‍යාතවයක් නොමැති බවයි.

“පුද්ගලයින් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරාවි. ඔවුන් සති දෙකක කදවුරකට යාවි. ඔවුන්ගේ ශරීර කොහොමද වෙනස් වෙන්නේ කියල එහිදී පරීක්ෂාවට ලක් වේවි. කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිනම්, පන්දුව පිරිමැදීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම එතරම් වැදගත් නැහැ. මොකද ඔබ හා සම්බන්ධ වන කිසිවෙකුට කොරෝනා වෛරසය වැළදී නැති නිසා. ඉතිං ඔබට සාමාන්‍ය පරිදි ක්‍රීඩා කළ හැකියි.”

යනුවෙන් ෂෝන් පොලොක් සදහන් කළා.

Leave a comment