Ultimate magazine theme for WordPress.

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි 12ට සුදුසුකම් ලබයි

Match Report

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම හා වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(20) සමත් වුණා. ඒ, ජීලෝන්ග්හී දී නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගාවලියේ පළමු වටයේ 9 වැනි තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කරමින්.

ශ්‍රී ලංකාව පළමු වටයේ ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගත් අතර, මේ වන විට ඔවුන්ට ප්‍රසාද ලකුණු 4 ක් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය නෙදර්ලන්තයට වඩා ඉහළ අගයක් ගෙන තිබීම හේතුවෙනුයි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ඇත්තේ.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

අවසන් මොහොත දක්වා තරගය ජය ගැනීම වෙනුවෙන් දැඩි සටනක නිරත වූ ආරම්භක පිතිකරු Max O’Dowd පන්දු 53 කින් නොදැවී ලකුණු 71 ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, නෙදර්ලන්තයට තරගය ජය ගැනීම සදහා ඔහුගේ හුදෙකලා ඉනිම ප්‍රමාණවත් වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වුණා.

AFP/Getty Images

නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 23 කට සීමා කරමින් Vikramjit Singh ලකුණු 7කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. පවර්ප්ලේ අවස්ථාව නිමා කරමින් ලහිරු කුමාර යොමු කළ නෙදර්ලන්ත ඉනිමේ හයවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී Bas de Leede  ලකුණු 14 කට දැවී ගියා. පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට නෙදර්ලන්තය කඩුලු 2 කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 ක්.

7 වැනි පන්දුවාරයේ දී වනිදු හසරංග විසින් Colin Ackermann ගේ කඩුල්ල දවා ගත්තා. Ackermann දැවී ගියේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි. පන්දුවාර 10 ක් අවසන් වන විට නෙදර්ලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 63 ක්.

නෙදර්ලන්ත ඉනිමේ සිව්වැනි කඩුල්ල 12 වැනි පන්දුවාරයේ දී බිද දැමීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා. එහිදී දැවී ගියේ ලකුණු 16 ක් ලබා සිටි Tom Cooper. නායක Scott Edwards පන්දු 15 කින් වේගවත් ලකුණු 21 ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ දී පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළ අතර, ඔවුන්ට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු පන්දුවාර 5 අවසන් වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, 6 වැනි පන්දුවාරයේ දී ලකුණු 14 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමග පවර්ප්ලේ අවස්ථාව ඔවුන් නිමා කළේ ලකුණු 36 ක් ලබා ගනිමින්.

කෙසේ වෙතත්, 7 වැනි පන්දුවාරය යොමු කළ Paul van Meekeren පිට පිට පන්දු දෙකකදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. ඔහුගේ පන්දු හමුවේ පැතුම් නිස්සංක ලකුණු 14(21) කට දැවී ගියේ පැයට කිලෝ මීටර් 146ක වේගවත් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

Also Read : පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂාවක් සදහා රැගෙන යයි

අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා. කෙසේ වෙතත්, ඔහු එය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කළේ නම් ධනංජයට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව පැවතුණා. ඒ, එම පන්දුව කඩුල්ලේ නොවදින පන්දුවක් බව පුනරූපනවලින් තහවුරු වූ බැවින්.

ICC via Getty Images

අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක ද පසුගිය තරග රැසකදීම ලකුණු අතරට පිවිසීමට අපොහොසත් වීම හේතුවෙන් ඉනිම ආරම්භයේ සිටම එතරම් විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දෙන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් නිමා වන විට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 60ක්.

පන්දුවාර 10 න් අනතුරුව තරමක් වේගයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් උත්සාහ කරනු දක්නට ලැබුණා. අසලංක හා මෙන්ඩිස් අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය පන්දු 45 කින් ලකුණු 60 ක්. එම සම්බන්ධය බිද වැටුණේ අසලංක ලකුණු 31(30) කට දැවී යාමත් සමගයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

අනතුරුව භානුක රාජපක්ෂ ලකුණු 19 (13) කටත්, දසුන් ශානක ලකුණු 8 (5) කටත් දැවී ගියා. වනිදු හසරංග නොදැවී ලකුණු 5 ක් හා චාමික කරුණාරත්න නොදැවී ලකුණු 2 ක් ලබා ගත්තා.

ICC via Getty Images

සිය 9 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් පන්දු 44 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 79 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 5 කින් වර්ණවත් වුණා. අවසන් පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 102 ක්.

පන්දු යැවීමේ දී නෙදර්ලන්තය වෙනුවෙන් Paul van Meekeren හා Bas de Leede කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment