Ultimate magazine theme for WordPress.

නව පත් කිරීම් දෙකක් හා මහේලගේ කොදෙව් ගමන ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4) නිවේදනය කළා.

ඒ, එළඹෙන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

රුමේෂ් රත්නායක මහතා මේ වන විට ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙසයි කටයුතු කරන්නේ.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වුණා.

ඒ අනුව නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර, නව පුහුණුකරුවෙකු පත් කිරීමට තවත් සති කිහිපයක කාලයක් ගත වනු ඇති.

මේ අතර, සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් මහතා පත් කර තිබෙනවා.

ඔහු ද ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

මේ අතර, එළඹෙන යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා රැදී සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

ඒ අනුව ඔහු එළඹෙන 9 වැනිදා තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජනවාරි 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් හි රැදී සිටිනවා.

Leave a comment