Ultimate magazine theme for WordPress.

නව පත් කිරීම් දෙකක් SLC තහවුරු කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4) නිල වශයෙන් තහවුරු කළා.

ඒ අනුව ජූනි පළමු වැනිදා සිට ඔහුගේ ධූර කාලය ආරම්භ වී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, නැගී එන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසත් කටයුතු කළා.

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ද තිලකරත්න මහතා කටයුතු කළා.

මේ අතර, ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සක ලෙස Brett Harrop පත් කර තිබෙනවා.

පසුගිය මැයි 21 වනදා සිට වසර දෙකක කාලයකට බලපැවැත්වෙන පරිදි ඔහුගේ පත් කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හිටපු ඔස්ට්‍රේලියානු පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වීමට පෙර නවසීලන්ත ක්‍රිකට් ආයතනය, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග මෙන්ම කිංග්ස් ඉලවන් පංජාබ් සහ ලාහෝර් කලැන්ඩර්ස් යන කණ්ඩායම් සමග ද කටයුතු කළා.

මේ වන විටත් දිවයිනට පැමිණ ඇති Brett Harrop නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඔහු එළඹෙන එංගලන්ත සංචාරය සදහා ද එක් වන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment