Ultimate magazine theme for WordPress.

නවසීලන්තය අවසන් පූර්ව වටයට යද්දී ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බිද වැටෙයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සිය බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකාවට අද(4) සිදු වුණා.

ඒ, තරගාවලිය යටතේ අද ඇඩිලේඩ් හී දී පැවැති නවසීලන්ත – අයර්ලන්ත හා ඔස්ට්‍රේලියා – ඇෆ්ඝනිස්තාන තරග ශ්‍රී ලංකාවට වාසි සහගත වන අයුරින් අවසන් නොවීම හේතුවෙන්.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමටනම් එම තරගවලින් අයර්ලන්තය හෝ ඇෆ්ඝනිස්තානය ජය ගැනීම අනිවාර්යය වුණා.

අයර්ලන්තයට එරෙහි තරගයෙන් නවසීලන්තය ලකුණු 35 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ අතර, ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාව ජය වාර්තා කළේ ලකුණු 4 කින්.

නවසීලන්තයේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමටනම් ඔස්ට්‍රේලියාවට අදාළ තරගය අවම වශයෙන් ලකුණු 185 කින් ජය ගත යුතු වූ නමුත්, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාවට ලබා ගැනීමට ද හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 168 ක් පමණයි.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සදහා මේ වන විට අවස්ථාව පවතින්නේ ඔස්ට්‍රේලියාවට හෝ එංගලන්තයට පමණයි.

හෙට දිනයේ දී ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරගයෙන් එංගලන්තය ජය ගතහොත් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

ඔස්ට්‍රේලියා – ඇෆ්ඝනිස්තාන තරගය

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා දුන් ලකුණු 169 ක ඉලක්කය හඹා ගිය ඇෆ්ඝනිස්තානයට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164 ක් පමණයි.

ගුල්බදීන් නයිබ් ලකුණු 39 ක් ලබා ගත් අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 30 කට දැවී ගියා. ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 26 යි. රෂීඩ් ඛාන් පන්දු 23 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගනිමින් අවසන් පන්දුවාර කිහිපයේ දී තරගයේ ජය සිය කණ්ඩායමට ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 54(32) ක් හා මිචෙල් මාෂ් ලකුණු 45(30) ක් රැස් කළා. පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා.

නවසීලන්ත – අයර්ලන්ත තරගය

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇඩිලේඩ් හී දී අද පැවැති නවසීලන්තය හා අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

ඒ අනුව නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගනිමින්. කලකට පසු වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 35 කින් ලකුණු 61 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් සමගින්. පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Watch : ජොෂ් ලිට්ල්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි. පෝල් ස්ටර්ලින්ග් ලකුණු 37 ක් රැස් කළ අතර, ඇන්ඩි බල්බර්නි ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Show Comments (1)