Ultimate magazine theme for WordPress.

නබී-ඔමර්සායිගේ සටන අපතේ යයි – පැතුම්ගේ 210* හා ප්‍රමෝද්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Match Report

මොහමඩ් නබීගේ හා අස්මතුල්ලාහ් ඔමර්සායිගේ සටන්කාමී පිතිහරඹය අපගේ යවමින් පැතුම් නිස්සංක වාර්තා කළ නොදැවුණු වාර්තාගත ලකුණු 210 හා ප්‍රමෝද් මදුෂාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 382 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 339 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 55ක් තුළ බිද වැටුණු පසුබිමක 6 වැනි කඩුල්ල සදහා වාර්තාගත සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඔමර්සායි හා නබී සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර පන්දු 222 කින් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 242 ක්. එය එක්දින තරග ඉතිහාසයේ දී 6 වැනි කඩුල්ල සදහා පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු දෙවැනි හොදම සම්බන්ධතාවයයි.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ එම සබදතාවය බිද දැමුවේ නව පන්දුවෙන් ද සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් කඩුලු 3ක් දවා ගත් ප්‍රමෝද් මදුෂාන්. මදුෂාන් මෙම තරගයේ දී ලකුණු 75 කට බිද හෙලූ කඩුලු ගණන 4 ක්.

වාර්තාගත 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයට තිත තබමින් මොහමඩ් නබී දැවී ගියේ ලකුණූ 136 ක් ලබා සිටියදීයි. පන්දු 130 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර තුනක් හා හතරේ පහර 15 ක් ඇතුළත්.

අවසන් මොහොත දක්වා සටන අත්නොහැරූ අස්මතුල්ලාහ් ඔමර්සායි හයේ පහර 6 ක් හා හතරේ පහර 13 ක් සමගින් පන්දු 115 කින් ලකුණු 149 ක් නොදැවී රැස් කළා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 381 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු තුනක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 139 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 210 ක්. හයේ පහර අටක් හා හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ලෙසයි පැතුම් නිස්සංක වාර්තා අතරට එක් වුණේ. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් එක්දින තරගයකදී වාර්තා කර තිබුණේ සනත් ජයසූරිය විසින්. ඔහු 2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 189 ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

පැතුම් සමග ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 182(160) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

පැතුම් හා සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 120 (71) ක්. සධීර රැස් කළ ලකුණු සංඛ්‍යාව 45(36) ක්. පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් ලකුණු 79 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Leave a comment