Ultimate magazine theme for WordPress.

දුෂ්මන්ත චමීර ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී ඔහුගේ පාදයක ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ඔහු අද පෙරවරුවේ දී වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර තිබූ අතර, අනතුරුව ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ තරගයේ දී දුෂ්මන්ත චමීර පන්දුවාර 3.5 ක් යොමු කර ලකුණු 15 කට වැදගත් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

චමීර වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට තේරීම් කමිටුව ඉදිරියේ දී කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, එම ආදේශ කිරීම සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ ද අනුමැතිය ලබා ගැනීමට සිදු වනවා.

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

මෙම තරගාවලිය ආරම්භ වීමටත් පෙර ආබාධයක් හේතුවෙන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහු වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු බිනුර ප්‍රනාන්දු මේ වන විට ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව තිබෙනවා.

මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් ද ආබාධවලට ලක්ව ඇතත්, අද පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ වෛද්‍ය වාර්තා ලැබෙන තුරු ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Show Comments (2)