Ultimate magazine theme for WordPress.

දියාරු පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාවට ඉනිමක අන්ත පරාජයක්

Match Report

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 222 ක දැවැන්ත පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(27) සිදු වුණා.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගත්තේ සංචාරක පාකිස්තානයයි.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී (ජූලි 27) ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 410 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 188 ක් පමණයි.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63 ක් ලබා ගත් අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

අද දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාවේ කඩුලු 5ක් පන්දුවාර 28 කදී ලකුණු 62 ක් තුළ බිද වැටුණා. තේ පානයෙන් පසුව ඉතිරි කඩුලු හතර ද දවා ගැනීමට පාකිස්තානය සමත් වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 69 කට සීමා කරමින් නිශාන් මදුෂංක ලකුණු 33 කට දැවී ගියා.  දිමුත් කරුණාරත්න ලකුණු 41 යි. යළිත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ලකුණු 14 කට දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 10 කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 5 යි. රමේෂ් මෙන්ඩිස් ලකුණු 16 ක් ලබා සිටියදී සිය කඩුල්ල පූජා කළේ ඉදිරියට පැන අනවශ්‍ය පහරක් එල්ල කරමින්.(ස්ටම්ප් කිරීමක්)

දැවී ගිය කඩුලු අතරින් කඩුලු 7ක් දවා ගත්තේ නෝමන් අලී විසින් වීම ද විශේෂත්වයක්. නසීම් ශාහ් විසින් සෙසු කඩුලු 3 දවා ගත්තා.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් ලබා සිටියදීයි.

අද දිනයේ දී පාකිස්තානය පන්දුවට පහර දුන්නේ පන්දුවාර 2ක් පමණයි. එහිදී මොහමඩ් රිස්වාන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, ඔහු නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු 67 කින්. පළමු ඉනිම අතරතුර දී සර්ෆරාස් අහ්මඩ්ගේ හිස් ආවාරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු කම්පන තත්ත්වයකට ලක් වීම හේතුවෙනුයි සර්ෆරාස් වෙනුවට මොහමඩ් රිස්වාන් පාකිස්තාන කණ්ඩායමට ආදේශ කෙරුණේ.

ආගා සල්මන් නොදැවී ලකුණු 132 යි. ඔහු හා රිස්වාන් අතර ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 108* (125) ක්.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201 ක් ලබා ගත්තා. පන්දු 326 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත්. සවුද් ශකීල් ලකුණු 57 ක් ද, ශාන් මසූඩ් ලකුණු 51 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකුණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස අබ්දුල්ලාහ් ශෆික් ද, තරගාවලියේ වීරයා ලෙස සල්මන් අලී ආගා ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment