Ultimate magazine theme for WordPress.

දික්වැල්ල ඉවතට ? හෙට තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට(23) ආරම්භ වන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පවසනවා.

අද පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ කණ්ඩායම සතුව මේ වන විටත් සැලසුමක් පැවතිය ද අද පස්වරුවේ පුහුණුවීම් සදහා ක්‍රීඩාංගනයට ගොස් කණ්ඩායමේ සංයුතිය පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙක්, පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ දග පන්දු යවන්නන් දෙදෙනෙක් හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බව ද ඔහු කියා සිටියා.

හෙට තරගයේ දී කුසල් ජනිත් පෙරේරා කඩුලු රැකීමේ කාර්යය ද සිදු කිරීමට වැඩි අවස්ථාවක් පවතින බැවින් බොහෝ විට පුහුණු තරගයේ දී නොදැවී ලකුණු 88ක් රැස් කළ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමි විය හැකියි.

“කණ්ඩායමේ එකේ සංයුතිය හදනකොට ප්‍රශ්නයක් එනවා. මොකද නිරෝෂන් දික්වැල්ල කියන කෙනා හොදටම සෙල්ලම් කරලා තියෙනවා.” යනුවෙන් කුසල් ජනිත් කියා සිටියා.

“නමුත් කණ්ඩායමේ සමබරතාවය බලනකොට අපිට සමහර තීරණ ගන්න වෙනවා. ඉතිං ඒ අවස්ථාව හැරෙන්න නැත්තම් ඔහු ගොඩක් හොදට සෙල්ලම් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට බලන්නේ ලකුණු අතරේ ඉන්න අයට අවස්ථාව දෙන්න.”

කුසල් මෙන්ඩිස් අංක 4 හෝ අංක 5 ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇති බවට ද ශ්‍රී ලංකා නායකයා මෙම මාධ්‍ය හමුවේ දී ඉගි පල කළා.

දෙරට අතර පැවැත්වෙන ප්‍රථම එක්දින තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට මීර්පූර් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

කොදෙව් දේශයේදී ලද අමිහිරි එක්දින තරගාවලි පරාජය හේතුවෙන් මෙම තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ දැඩි බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වන බව නොරසහක්.

නව නායකත්වයක් යටතේ තරුණ ක්‍රීඩකයන් වැඩි දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ජවයකින් හා උද්‍යෝගයකින් ක්‍රීඩා කර ජයග්‍රාහී මාවතකට පිවිසෙනු ඇති බවටයි බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ද විශ්වාසය වී ඇත්තේ.

කෙසේ නමුත් බංග්ලාදේශය ඔවුන්ගේ රට තුළ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බැවින්, මෙම තරගාවලියේ දී ඔවුන්ගෙන් ද ප්‍රබල අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වනු ඇති.

මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර නොමැති බංග්ලාදේශ කණ්ඩායම එම ඉතිහාසය වෙනස් කිරීමේ අරමුණිනුයි මෙම තරගාවලිය සදහා පිවිසෙන්නේ.

හෙට තරගයට ක්‍රීඩා කළ හැකි බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම :

Kusal Perera (c, wk), Danushka Gunathilaka, Kusal Mendis, Pathum Nissanka, Dhananjaya de Silva, Dasun Shanaka, Ashen Bandara, Wanindu Hasaranga, Isuru Udana, Lakshan Sandakan, Chamika Karunaratne

Leave a comment