Ultimate magazine theme for WordPress.

දග පන්දු යවන්නන් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට නතු කරයි

Day 2 Report

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(22) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබා සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41ක් රැස් කළ අතර, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර ලකුණු 46ක සබදතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුණු නමුත්, අනතුරුව ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ කොදෙව් ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

න්කෘමහ් බෝනාර් (Nkrumah Bonner) එක් ලකුණකටත්, ෂායි හෝප් ලකුණු 10කටත්, රොස්ටන් චේස් ලකුණු 2කටත් දැවී ගිය අතර, ජොමෙල් වොරිකන් ලකුණු 1කට දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ක්යල් මේයර්ස් ලකුණු 22ක් ද, ජේසන් හෝල්ඩර් එක් ලකුණක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගනිද්දී, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් ද ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 267ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ දී ලකුණු 386කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වීම හේතුවෙන්.

ධනංජය ද සිල්වා පන්දු 95කින් ලකුණු 61ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට ගොදුරු වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 111ක්.

දිමුත් සමගින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

පැතුම් ලකුණු 56කට දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 45කට දැවී ගියේ රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5ක් ද, ජොමෙල් වොරිකන් කඩුලු 3ක් ද දවා ගත්තා.

ඊට අමතරව ශැනොන් ගේබ්‍රියල් ද කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 273ක්.

Leave a comment