Ultimate magazine theme for WordPress.

තිසරගේ කණ්ඩායම 78 කට සීමා කරමින් සීක්කුගේ ප්‍රසන්නගේ කණ්ඩායමට ශූරතාවය

ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති Army Commanders league විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (06)  නිමාවට පත්වුනේ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමින්.

ඒ, අවසන් මහා තරගයේදී තිසර පෙරේරා නායකත්වය දරන Western Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 64ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින්.

දොඹගොඩ යුධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේදී පස්වරු 2 ට ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් Western Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Northern Warriors කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසී Northern Warriors කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 142ක්.

ශෙහාන් ප්‍රනාන්දු හතරේ පහරවල් 4 ක් සමගින් පන්දු 34 කදී නොදැවී ලකුණු 39 ක් රැස්කළා. පැතුම් කුමාර පන්දු 32 කදී නොදැවී ලකුණු 35 යි. අශාන් රන්දික ලකුණු 23(17) ක් ලබා ගත්තා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණූ 15 සීමාවට ළගා නොවූ අතර, නායක සීක්කුගේ ප්‍රසන්න ලකුණු 4 කටත්, මිලින්ද සිරිවර්ධන ලකුනු 2 කටත් දැවී ගියා. අශාන් ප්‍රියන්ජන් ලකුණු 9යි.

පන්දු යැවීමේදී කඩුලු 3 ක් නුවන් ප්‍රදීප් විසින් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ, ෂෙහාද සොයිසා සහ යශෝද මෙන්ඩිස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නම් තිසර පෙරේරා නායකත්වය දැරූ Western Warriors කණ්ඩායමට ලකුණු 143 ක ඉලක්කයක් හඹා යාමට අවශ්‍යව වුණත්, ඔවුන්ට සාර්ථක හඹා යාමකට නිරත වීමට Northern Warriors පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව Western Warriors කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 16.1ක් අවසානයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 78 ක් පමණයි.

ලකුණු 25 කට ඔවුන්ගේ කඩුලු 6 ක් බිඳ වැටුණා. තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ උපුල් තරංගට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 10(14) ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් දියත් කිරිමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා ලකුණු 21(19)කට දැවී ගියා. මල්ක මදුසංක ලකුණු 20(16) යි. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව පසුකර යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ගයාන් චන්ද්‍රබූස් පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.

අශාන් ප්‍රියංජන් කඩුලු 3 ක් ද, නායක සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ආර්. තෙනුරාදන් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඒ අනුව Western Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම මෙවර Army Commanders league ශූරතාවය දිනා ගනු ලැබුවා.

 

Leave a comment