Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු මිලර්-මාක්‍රම් ප්‍රහාරය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Match Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(30) සමත් වුණා. එම ජයත් සමග මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව තම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ නංවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත් වුණේ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇද දමමින්.

වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත පර්ත් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 134 ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 24 ක් තුළ බිද වැටුණා. අනතුරුව ඒඩ්න් මාක්‍රම් හා ඩේවිඩ් මිලර් පන්දු 60 කින් ලකුණු 76 ක සබදතාවයක් ගොඩ නගමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රාහී මාවත විවර කළා.

මාක්‍රම් ලකුණු 36 ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් විරාට් කෝලි අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. මාක්‍රම් පන්දු 41 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 52 ක්.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඩේවිඩ් මිලර් පන්දු 46 කින් නොදැවී ලකුණු 59 ක් ලබා ගත්තා. හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 133 ක් රැස් කළේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 49 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සූර්යකුමාර් යාදව් පන්දු 40 කින් ලකුණු 68 ක් වාර්තා කරමින් ඉන්දීය පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. වේන් පාර්නෙල් ලකුණු 15 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Show Comments (1)