Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු අවසන් පන්දුවාරයේ දී තරගාවලියේ ජය කොදෙව්වන්ට – Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව 2008 වසරෙන් පසුව පළමු වරට එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදවේ කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද(13) අලුයම නිමා වූ දෙවැනි එක්දින තරගයෙන් කොදෙව්වන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

යළිත් ලකුණු අතරට පිවිසි ධනුෂ්ක ගුණතිලක සිය 10 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 96කින් ලකුණු 96ක් ලබා සිටියදී දැවී ගියා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

සිය 23 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් ලබා ගත් අතර, වනිදු හසරංග පන්දු 31කින් ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් මොහොමඩ් කඩුලු 3ක් සහ අල්සාරි ජෝසප් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ලට ලකුණු 192ක අගනා සබදතාවයක් ගොඩ නැගීමට එවින් ලුවිස් සහ ෂේයි හෝප් සමත් වූ අතර, ලුවිස් සිය සිව්වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 103කට දැවී ගියා.

පළමු තරගයේ දී ශතකයක් රැස් කළ හෝප් මෙම තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 84ක්.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දුවාර 5ට ලකුණු 46ක් ලබා ගැනීමට කොදෙව්වන්ට අවශ්‍ය තිබූ අවස්ථාවක කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය නිකලස් පූරාන් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා.

තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේ දී ලකුණු 9ක් අවශ්‍යව තිබූ අතර, එය ඔවුන් සපුරා ගත්තේ පන්දු 4ක් තුළදීයි.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමගින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

Leave a comment