Ultimate magazine theme for WordPress.

තරගාවලිය අවලංගු කිරීමෙන් පසු සියලු සාමාජිකයින්ට කොරෝනා නොමැති බව හෙළි වෙයි

දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත එංගලන්ත සංචිතයේ කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට අණාවරණය වී තිබෙනවා.

ඒ, දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය අවලංගු කර ඇති පසුබිමකයි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් සියලු දෙනාට එළඹෙණ බ්‍රහස්පතින්දා (10) යළි සිය රට බලා පිටව යාමට හැකියාව ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර බළධාරීන් ප්‍රකාශයට පත් කර තිබුණේ දකුණු අප්‍රිකාවේ සංචාරයේ නිරතව සිටින එංගලන්ත සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් සිදු කර ඇති බවයි.

ඒ අතර ක්‍රීඩකයෙකු සහ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු සිටි බව සදහන්.

කෙසේ වෙතත්, ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව පසුව කළ වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලදී අණාවරණය වී තිබෙනවා.

එසේ නොවුණේනම් එංගලන්ත ක්‍රීඩකයින්ට ලබන 15 වනදා දක්වා දකුණු අප්‍රිකාවේ රැදී සිටීමට සිදු වීමේ අවධානයක් ද මතුව තිබුණා.

දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සාර්ථක ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ නමුත්, තරග 3කින් යුත් එක්දින තරගාවලියේ එකදු තරගයක් හෝ පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් අදාළ තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා හා එංගලන්ත ක්‍රිකට් ආයතන සාකච්ඡා කර තීරණයකට එළඹෙනු ඇති.

පළමු එක්දින තරගය පසුගිය සිකුරාදා(4) කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාසියේ වාසිය උරගා බැලීමට පැයකටත් අඩු කාලයකදී තරගය පසුගිය 6 වනදා දක්වා කල් දැමීමට තීරණය කළ බවට නිවේදනය කෙරුණා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම හේතුවෙන්.

නමුත් පසුගිය 6 වනදා පැවැත්වීමට තීරණය කෙරුණු අදාළ තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවට මිනිත්තු 20කට පමණ පෙර දකුණු අප්‍රිකා සහ එංගලන්ත ක්‍රිකට් ආයතන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තරගයේ ආරම්භක වේලාව ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි.

ඊට හේතු වූයේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවණය වීමයි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයින් යළිත් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබුණා.

පළමු මාධ්‍ය නිවේදනයෙන් සුළු වේලාවකට පසුව දෙරටේ ක්‍රිකට් ආයතන යළිත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සංචාරයට එක්ව සිටින එංගලන්ත සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට “තහවුරු නොකළ” හදුනා ගැනීමක් සිදු කර ඇති බැවින් පළමු තරගය අත්හැර දැමීමට කටයුතු කරන බවයි.

පසුව ක්‍රීඩකයින්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය පිළිබද සලකා බලා තරගාවලියේ ඉදිරි තරග අත්හිටුවීමට පියවර ගත් බව ඊයේ (7) දිනයේ දී දෙරටේ ක්‍රිකට් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියා.

මේ අතර, වෛරසය ආසාදනය වූ බවට හදුනා ගැණුනු දකුණු අප්‍රිකා ක්‍රීඩකයා හෙන්රිච් ක්ලාසීන් බවට තොරතුරු වාර්තා වන්නේ යැයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහුගේ ශරීරයේ ද කොරෝනා වෛරසය නොමැති බවට මේ වන විට තහවුරු වී අවසන්.

Leave a comment