Ultimate magazine theme for WordPress.

ජයිස්වාල්ගෙන් ද්විත්ව ශතකයක් – ඉන්දීය පළමු ඉනිම ලකුණු 396 යි

සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දීය ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් අද(3) සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග විසාකාපට්නම් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, අද දිනය ආරම්භ කරන විට ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 336 ක්.

ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 396 ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු 209 ක් රැස් කළේ පන්දු 290 කින්. හයේ පහර 7ක් හා හතරේ පහර 19 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ලකුණු 191 සිට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමින් ජයිස්වාල් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වෙනත් කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් හෝ වාර්තා කළේ නැහැ.

ෂුබ්මන් ගිල් ලකුණු 34 කට දැවී ගිය අතර, රාජත් පටිදර් ලකුණු 32 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ශොයිබ් බෂීර්, රෙහාන් අහ්මඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Leave a comment