Ultimate magazine theme for WordPress.

චෙන්නායි දින්නම මුම්බායි playoffs ගියේ කොහොමද ? හේතු සාධක මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (playoffs) කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රේක්ෂකයන්ට මේ වන විට ඇත්තේ යම් අනවබෝධයක් බව දක්නට ලැබෙනවා.

විශේෂයෙන් ඊයේ පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජය ගැනීමත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් වටයේ ස්ථානය තහවුරු කර ගත් ආකාරය පිළිබද බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැති බව දක්නට ලැබෙනවා.

එබැවින් මේ පිළිබද පැහැදිලි කිරීමක් සිදු කිරීම සදහායි අප මෙම සටහන තැබීමට තීරණය කළේ.

ඊයේ පැවැති කොල්කටා – චෙන්නායි තරගය ආරම්භ වනතුරු කිසිදු කණ්ඩායමක් මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණේ නැහැ.

කෙසේවෙතත් චෙන්නායි කණ්ඩායමට පමණක් ඊයේ වනවිටත් තරගාවලියේ අවසන් වටයට සුසුදුසුකම්  ලැබීමේ අවස්ථාව අහිමි වී තිබුණා.

මුම්බායි කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු 16ක් හිමිකර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ට අවසන් වටයේ ස්ථානය ඊයේ දිනය නිමාවන තුරුම තහවුරු නොවී තිබුණේ තවත් කණ්ඩායම් 4කට ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වීමට හැකියාව පැවැති බැවින්.

ඊයේ තරගය කොල්කටා කණ්ඩායම ජය ගත්තේනම් කොල්කටා කණ්ඩායමට ද එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේ හැකියාව පැවතුණා.

එසේ වූයේනම් කණ්ඩායම් පහකට ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගාවීමට හෝ එය අභිබවා යාමේ හැකියාව පැවැතීම නිසා මුම්බායි පිල නිල වශයෙන් අවසන් වටයේ ස්ථානය තහවුරු කරගෙන තිබුණේ නැහැ.

ඒ මූලික වටයේ සියලු තරග අවසන් වන විටත් ඔවුන් ප්‍රසාද ලකුණු 16 සීමාවේම රැදී සිටියහොත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් වටයට සුදුසුකම් ලැබීමේ හැකියාව තීරණය වීමේ අවධානමක් පැවැති බැවින්.

කෙසේවෙතත් ඊයේ තරගය කොල්කටා කණ්ඩායම පරාජයට පත් වීම හේතුවෙන් කොල්කටා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වී මුම්බායි කණ්ඩායමට අභියෝගය කිරීමේ අවස්ථාව මේ වන විට අහිමි වී ගොස් තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 16 සීමාවට මේ වනවිට  ළගා විය හැකි සෙසු කණ්ඩායම් සංඛ්‍යාව වන්නේ (මුම්බායි හැර) 3ක් පමණයි.

එම සියලු කණ්ඩායම් ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වුවද මුම්බායි කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 තුළ රැදී සිටීමේ අවස්ථාව කිසිසේත්ම අහිමිවන්නේ නැහැ.

ඒ හේතුවෙනුයි තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායම ඊයේ දිනයේ තහවුරු කර ගත්තේ.

ඒ අනුව අවසන් වටයේ ස්ථාන 3ක් තවදුරටත් පුරප්පාඩුව පවතින අතර, ඒ සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායම හැර සෙසු සියලු  කණ්ඩායම් සදහා විවෘතව පවතිනවා.

ප්‍රසාද ලකුණු සටහන මෙතනින්

BCCI / IPL T20
Leave a comment