Ultimate magazine theme for WordPress.

කොළඹ එක වෙද්දී දඹුල්ල දෙවැනි තැනට – අවසන් පූර්ව වටයේ තරග කාලසටහන මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මූලික වටයේ අවසන් තරගයෙන් (20 වැනි) දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පරදා ඔවුන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

හම්බන්තොට අද(11) පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් ලබා ගනිමින්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 65(40)ක් සහ ඇන්ජෙලෝ පෙරේරා නොදැවී ලකුණු 74(51)ක් රැස් කළා.

ඇන්ජෙලෝගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

නායක දසුන් ශානක පන්දු 15කින් හතරේ පහර 5ක් සමගින් නොදැවි ලකුණු 28ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් කඩුලු 2ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ තරගයේ පස්වැනි කඩුල්ලට අශාන් ප්‍රියන්ජන් සහ කායිස් අහ්මඩ් අතරේ පන්දු 37කින් ගොඩ නැගුණු නොබිදුණු ලකුණු 77ක සබදතාවයෙන් ශක්තිමත් වෙමින්.

පරාජය පෙනි පෙනී තිබූ කොළඹ කණ්ඩායමට ජය ගෙන ආ කායිස් අහ්මඩ් පන්දු 22කින් නොදැවී ලකුණු 50ක් රැස් කළේ හයේ පහර 5කින් තම ඉනිම වර්ණවත් කරමින්.

ඔහු ඉනිමේ 19 වන පන්දුවාරයට හයේ පහරවල් 4ක් එල්ල කරමින් තරගයේ ජය කොළඹ කණ්ඩායමට තහවුරු කර දුන්නා.

අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 47(28)ක් රැස් කළ අතර, තික්ෂිල ද සිල්වා ලකුණු 31(16)යි.

පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ ලොරී එවන්ස් මෙම ඉනිමේ දී පන්දු 24කින් වේගවත් ලකුණු 53ක් ලබා ගත් නමුත්, ආබාධයක් හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

ඒ අනුව ඔහුට අවසන් පූර්ව තරගය ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

එල්.පී.එල් වරම් දිනා ගත් ළහිරු උදාර එක් ලකුණක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය නමුත්, පුනරූපනවලින් පෙනී ගියේ එය දැවී යාමක් නොවන බවයි.

පන්දුව පා ආවරණයේ වැදීමට පෙර එය පිත්තේ වදින අයුරු පුනරූනවලින් පැහැදිලිව දක්නට ලැබුණ ද ළහිරු උදාර විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) (Review) භාවිතා කිරීමට කටයුතු නොකිරීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ කරුණක්.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම ඉනිමේ දී පිතිකරණයේ නිරත වීම සදහා පිටියට පිවිසියේ නැහැ.

පන්දු යැවීමේ දී සමිත් පටෙල්, මාලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී සහ දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි වූ අතර, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට තෙවැනි ස්ථානයත්, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සිව්වන ස්ථානයත් හිමි වුණා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එළඹෙන 13 වනදා පැවැත්වෙන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

එම තරගය රාත්‍රී 7ට හම්බන්තොට දී ආරම්භ වනු ඇති.

දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 14 වනදා දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහන –

Leave a comment