Ultimate magazine theme for WordPress.

කොදෙව් පුහුණුකරු නවසීලන්ත රජයෙන් සහ ජනතාවගෙන් සමාව ගනියි

බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් නවසීලන්ත සෞඛ්‍ය බළධාරීන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් එරට දින 14ක නිරෝධායන කාල සීමාවක් ගත කරමින් සිටිනවා.

ඒ අතරතුර ඔවුන්ට පුහුණුවීම් සිදු කිරීම සදහා ද අවසර ලබා දී තිබුණේ කුඩා කණ්ඩායම් වශයෙන්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය බළධාරීන් පසුගියදා එම වරප්‍රසාදය අවලංගු කිරීමට පියවර ගත්තේ කොදෙව් ක්‍රීඩකයින් ආහාර හුවමාරු කර ගනිමින් එක්ව කටයුතු කිරීම තුළින් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බවට තහවුරු වීමත් සමගයි.

“මම සමාව ඉල්ලනවා අපිට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දුන් නවසීලන්ත ජනතාවගෙන් සහ රජයෙන්.” යනුවෙන්  කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් නවසීලන්ත මාධ්‍යයකට අදහස් දක්වමින් සදහන් කළා. “මෙය අපගේ දෘෂ්ටි කෝණයෙන් ලැජ්ජාවට කරුණක්.”

මේ අතර,කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කළ අවසන් වෛද්‍ය පරීක්ෂණයෙන් ද සියලු කොදෙව් ක්‍රීඩකයින් සමත් වී ඇති බව සදහන්.

ඒ අනුව ඔවුන් නිරෝධායක කාලසීමාවෙන් අද(13) දිනයේ දී නිදහස් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, අයි.පී.එල් තරගාවලියට එක් වූ නවසීලන්ත සහ කොදෙව් ක්‍රීඩකයින් ඊයේ (12) දිනයේ දී එරටට ළගා වී ඇති අතර, මූලික සෞඛ්‍ය පරීක්ෂණවලින් ද ඔවුන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ක්‍රයිස්චර්ච් වෙත පිටත්ව යන්නේ දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීම සදහායි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර, තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 3 වනදා ආරම්භ වනු ඇති.

Leave a comment