Ultimate magazine theme for WordPress.

කෙළ ගෑවොත් දඩුවම් ලකුණු 5ක් පනවයි – ක්‍රිකට් නීති රැසක් සංශෝදනයට අයි.සී.සී අනුමැතිය

කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල තරග නීති රීති කිහිපයක් තාවකාලිකව සංශෝදනය කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම කවුන්සලය නිවේදනය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව පිරිමැදීම සදහා කෙළ (මිනිස් කේඨය) යොදා ගැනීම තහනම් කිරීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති කිහිපයක් තාවකාලිකව සංශෝදනය කිරීම සදහා අයි.සී.සී ක්‍රිකට් කමිටුව පසුගියදා කළ නිර්දේශවලට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ප්‍රධාන විධායක නිළධාරී මන්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි.

කොරෝනා වෛරසය වැළදීමේ අවධානම අවම කිරීම සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබද අවධානය යොමු කර ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙම නීති සංශෝදනය සිදු කර ඇති බව සදහන්.

පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය යොදා ගැනීම තහනම් කිරීම

පන්දුවේ කෙළ තැවරීම ඔස්සේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින බැවින් පන්දුව පිරිමැදීම සදහා මිනිස් කේඨය යොදා ගැනීම තහනම් කිරීමට අයි.සී.සී ක්‍රිකට් කමිටුව කළ නිර්දේශයට මෙහිදී අනුමැතිය ලැබී ඇති අතර, දහඩිය යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සදහා තවදුරටත් අවසර පවතිනවා.

යම් කණ්ඩායමක් කේඨය යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සිදු කළහොත් මුල් අවස්ථාවන්වලදී ඒ සදහා යම් සහනයක් විනිසුරුවන් විසින් ක්‍රීඩකයින්ට ලබා දෙන අතර, (ක්‍රීඩකයින්ට ඒ සදහා හුරුවීම සදහා යම් කාලයක් ලෙස) දිගින් දිගටම ඔවුන් එම වරද කළ හොත් කණ්ඩායමට එරෙහිව අනතුරු ඇගවීමක් විනිසුරුවන් විසින් සිදු කරනු ඇති.

කණ්ඩායමකට එවැනි අනතුරු ඇගවීම් දෙකක් ඉනිමකදී නිකුත් කළ හැකි අතර, තවදුරටත් ඔවුන් එම වරද කළහොත් දඩුවම් ලකුණු 5ක් පිතිකරණ කණ්ඩායම වෙත ලබා දීමට විනිසුරුවන්ට බලය පවරා තිබෙනවා.

යම් හෙයකින් ක්‍රීඩකයින් පන්දුව පිරිමැදීම සදහා කේඨය යොදා ගතහොත් තරගය ක්‍රියාත්මක කිරීමට පෙර පන්දුව පිරිසිදු කිරීමට ද විනිසුරුවන් කටයුතු කළ යුතුයි.

කෝඩිඩ් 19 ක්‍රීඩක ආදේශ කිරීම් සදහා අනුමැතිය

යම් ක්‍රීඩකයෙකු තරගයක් අතරතුර දී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා ආදේශ කිරීමට අයි.සී.සීයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙතෙක් තරගවලදී අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ක්‍රීඩක ආදේශ කිරීමක් කළ හැකිව තිබුණේ ක්‍රීඩකයෙකු අනතුරක් හේතුවෙන් යම් කම්පන තත්ත්වයකට පත් වුවහොත් පමණයි.

එවැනි අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට ක්‍රීඩක ආදේශ කිරීමක් කිරීමට හැකි නොවූ නමුත් පන්දු රැකීම සදහා පමණක් ක්‍රීඩක ආදේශ කිරීමක් වෙනත් ආබාධ සහිත අවස්ථාවන්වලදී සිදු කළ හැකියි.

කෙසේ වෙතත්, කෝවිඩ් 19 ක්‍රීඩක ආදේශ කිරීමේ ක්‍රමවේදය වලංගු වන්නේ ටෙස්ට් තරග සදහා පමණක් බවයි අයි.සී.සීය සදහන් කළේ.

දේශීය විනිසුරුවන් පත් කිරීම

කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර තරග සදහා නිළධාරීන් පත් කිරීමේ දී (විනිසුරුවන් සහ තරග තීරකවරුන්) අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටෙහි විනිසුරුවන් සහ තරග තීරකවරුන් යොදා ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර සංචාරක සීමා සහ නීරෝධායන ක්‍රියාවලීන් පිළිබද අවධානය යොමු කර මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ස්වාධීන විනිසුරුවන් සහ තරග තීරකවරුන් පත් කළ යුතු බවට මෙතෙක් පැවැති නීතිය ද සංශෝදනයකට ලක් කිරීමටයි අයි.සී.සී අනුමැතිය ලබා දී ඇත්තේ.

විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා ඉහළට (DRS)

මේ අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ කණ්ඩායමකට එක් ඉනිමකදී කළ හැකි ඉල්ලීම් ප්‍රමාණය ද (unsuccessful DRS review) එක් අවස්ථාවකින් ඉහළ දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඉදිරියේ දී අත්දැකීම් අඩු විනිසුරුවන් තරග සදහා පත් කිරීමට සිදු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව ටෙස්ට් තරග සදහා එක් ඉනිමකදී කණ්ඩායමකට DRS අවස්ථා 3ක්ද, එක්දින සහ 20යි 20 තරගවලදී අවස්ථා 2ක් ද හිමි වනු ඇති.

Leave a comment