Ultimate magazine theme for WordPress.

කුසල් සහ දුෂ්මන්ත ශ්‍රේණිගත කිරීම්හි කැපීපෙනන අයුරින් ඉදිරියට

නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(2) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරණ සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි කැපීපෙනන අයුරින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කළ කුසල් පෙරේරා පිතිකරණ අංශයේ 42 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13කින්.

තෙවැනි තරගයේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සිය හොදම පන්දු යැවීම සටහන් කළ දුෂ්මන්ත චමීර (ලකුණු 16ට කඩුලු 5ක්) පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 27කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට රැදී සිටින්නේ 33 වන ස්ථානයේ යි.

තරගාවලිය ආරම්භ වීමට පෙර දුෂ්මන්ත රැදී සිටියේ ශ්‍රේණිගත කිරීම්හි 72 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.

මේ අතර, ධනංජය ද සිල්වා ද පිතිකරණ අංශයේ ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 85 වන ස්ථානයේ රැදී සිටිනවා.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2කින් ද ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ 79 වන ස්ථානය දක්වායි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 24 වන ස්ථානය දක්වා ස්ථාන 7කින් ධනංජය ඉදිරියට පැමිණ තිබෙනවා.

වනිදු හසරංග පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි සම 51 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්හි දැක්වෙන්නේ.

මේ අතර, බංග්ලාදේශයේ මහ්මුදුල්ලාහ් පිතිකරුවන් අතර 36 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Leave a comment