Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 18 දෙනෙකු කොන්ත්‍රාත් අත්සන් කරයි; කිහිප දෙනෙකු ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අගෝස්තු 01 සිට බලපැවැත්වෙන පරිදි එම ගිවිසුම් අත්සන් කර ඇති අතර, නව කොන්ත්‍රාත්තු මාස 05 ක කාලයක් සඳහා වලංගු වන බව සදහන්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එම කොන්ත්‍රාත් ගිවිසුම් ලබන දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බවයි.

ක්‍රිකට් තාක්‍ෂණික උපදේශක කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම කොන්ත්‍රාත් ගිවසුම් සකස් කර තිබූ අතර, එහි ඇති විනිවිද භාවය පිළිබද ගැටලු පෙන්වා දෙමින් ක්‍රීඩකයින් මීට පෙර එම ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත්, අදාළ කොන්ත්‍රාත්තු කිසිදු වෙනස්කමකින් තොරව මෙවර ද ක්‍රීඩකයින් වෙත ලබා දී ඇති බවත්, කිසිදු විරෝධයකින් තොරව ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් කළ බවත්, සදහන්.

කොන්ත්‍රාත් පිරිනැමීමේදී තේරීම් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ව කාණ්ඩ හතරක් යටතේ තෝරා ගැනීම් සිදුකර තිබෙනවා.

දක්ෂතාවය, ශාරීරික යෝග්‍යතාවය, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, හැසිරීම් මාලාව සහ අනාගතය සඳහා වන අනුවර්තනය යන නිර්ණායකයන් මත පදනම්ව ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කළා.

එක් එක් ක්‍රීඩකයින්ට පිරිනමන ලද ලකුණු ඔවුනොවුන් අතර හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් පසුවයි ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තබා ඇත්තේ.

මේ අතර, කොන්ත්‍රාත්තු ලබා දුන් ක්‍රීඩකයින් අතරට මීට පෙර එක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව ඉවත්ව ඇති බැවින් ඔහු නව කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව නැහැ.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයින් මේ වන විට තරග තහනමකට ලක්ව සිටින බැවින් ඔවුන්ට ද කොන්ත්‍රාත් පිරිනමා නොමැති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඉසුරු උදාන මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බැවින් ඔහු ද මේ සදහා සළකා බැලෙන්නේ නැහැ.

මීට පෙර කොන්ත්‍රාත් ලබා දෙන බව සදහන් කළ ක්‍රීඩකයින් 24 දෙනා අතරට ඇතුළත්ව සිටි කසුන් රාජිත ද අද ප්‍රකාශයට පත් කළ ක්‍රීඩකයින් 18 දෙනා අතරට ඇතුළත්ව නැහැ.

කොන්ත්‍රාත් අත්සන් කළ ක්‍රීඩකයින් –

Dhananjaya De Silva, Kusal Perera, Dimuth Karunaratne, Suranga Lakmal, Dasun Shanaka, Wanindu Hasaranga, Lasith Embuldeniya, Pathum Nissanka, Lahiru Thirimanne, Dushmantha Chameera, Dinesh Chandimal, Lakshan Sandakan, Vishwa Fernando, Oshada Fernando, Ramesh Mendis, Lahiru Kumara, Ashen Bandara, Akila Dananjaya

Leave a comment