Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ආයතනයෙන් තවත් රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී තරග ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ලබා දුන් පොරොන්දුවකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබෙනවා.

රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවරෙහි කොටසක් ලෙසයි මෙම ප්‍රදානය ලබා දී ඇත්තේ.

පසුගිය ජූනි හා ජූලි මාසවලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයේ නිරත වූ අතර, එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් පැවැත්වුණා.

මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබුවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙට සහභාගී වීම වෙනුවෙන් උපකාර කිරීමක් වශයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 22.5 ක මුදලක් පරිත්‍යාග කළා.

තවද ආසියානු දැල් පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හා පුහුණුකාර්යය මණ්ඩලය වෙනුවෙන් ද රුපියල් මිලියන 2 බැගින් රුපියල් මිලියන 36ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑතකදී පරිත්‍යාග කරනු ලැබුවා.

Show Comments (1)