Ultimate magazine theme for WordPress.

කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරන පන්දුවාර 36 ක්‍රිකට් තරගය කල් යයි

කණ්ඩායම් දෙකක් වෙනුවට කණ්ඩායම් 3ක් සහභාගී වන සහයෝගීතා කුසලාන ක්‍රිකට් තරගය කල් දැමීමට සිදුව තිබෙනවා.

ඒ තරගය සදහා අවශ්‍ය රජයේ අනුමැතිය ලැබී නොමැති වීම හේතුවෙන්.

ලබන මස මුලදී දකුණු අප්‍රිකාවේ දේශීය තරග ආරම්භ කිරීම සදහා වන පෙරහුරුවක් වශයෙන් එරට ක්‍රිකට් ආයතනය මෙම තරගය සංවිධාන කර ඇති අතර, එය ලබන 27 වනදා සෙන්චූරියන්හී දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

සෙන්චූරියන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර යමින් පවතින නිසා සෙන්චූරියන් ක්‍රීඩාංගනයේ මෙම තරගය පැවැත්වීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයට එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

තරගය සම්බන්ධයෙන් ඊට අදාළ සියලු පාර්ශව අතර සාකච්ඡාවක් පැවැති බවත්, අනුමැතිය ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් සම්පූර්ණ කිරීමට තවදුරටත් අවශ්‍ය වන බවට එහිදී අවබෝධ වූ බවත් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව තරගය පැවැත්වෙන නව දිනය ඉදිරියේ දී ප්‍රකාශ කරන බවයි එරට ක්‍රිකට් ආයතනය පැවසුවේ.

තරගයට එක්වන කණ්ඩායම් තුනේ නායකත්වය ඒ.බී.ඩි විලියස්, කාගිසෝ රබාඩා සහ ක්වෙන්ටන් ඩී කොක් විසින් දරනු ඇති.

මෙම තරගයේ දී එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කරන අතර, සමස්ත තරගය පන්දුවාර 36කට සීමා වනවා.

එක් කණ්ඩායමක් සදහා ලැබෙන පන්දුවාර සංඛ්‍යාව 12ක් වන නමුත් සමස්ත තරගය අර්ධ දෙකක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එබැවින් තරගයේ දී කණ්ඩායමකට පන්දුවාර 6 බැගින් අවස්ථා දෙකක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

කණ්ඩායමේ 7 වන කඩුල්ල දැවී ගිය ද, අවසන් පිතිකරුවාට තනිව පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව හිමි වීම ද මෙම තරගයේ ඇති තවත් සුවිශේෂීතාවයක්.

මෙම තරග ආකෘතිය නම් කර ඇත්තේ 3T ක්‍රිකට් යනුවෙන්.

Leave a comment